මෙරටින් අන්නාසි අඹ යවා නවසීලන්තයෙන් ගව ශුක්‍රාණු ගෙන්වයි

0
30

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට උසස් ගව ශුක්‍රාණු ආනයනය අවශ්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මෙරට නවසීලන්ත මහ කොමසාරිස් David Pineට දැනුම් දුන්නේය.

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සම්බන්ධව ඇමැතිවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (30 වැනිදා) පැවැත්විණි. මෙරටට උසස් තත්ත්වයේ ගවයන්ගේ හිඟයක් පවතින බව ද ඇමැතිවරයා පැවසීය.

ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාදීමට නවසීලන්ත රජයේ සහයෝගය ලබාදීමට ද නවසීලන්ත මහකොමසාරිස්වරයා එකගතාවය පළ කළේය.

දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 60ක් පමණ තවමත් ආනයනය කෙරෙන බවද ඇමැතිවරයා පැවැසීය.

මෙරට නිෂ්පාදිත අන්නාසි හා අඹ නවසීලන්තයට අපනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට ද මෙම සාකච්ඡාවේ දී මහකොමසාරිස්වරයා එකඟතාවය පළ කළේය.

විදේශ වෙළෙඳපළේ ඉහළ ඉල්ලුමක් ඇති HAAS නැමැති අලිගැටපේර වගාව මෙරට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව වගා කිරීම ආරම්භ කර තිබෙන බවත්, එම වගාව සඳහා තවදුරටත් නවසීලන්ත රජයේ සහයෝගය ලබාදෙන ලෙස කෘෂි තාක්ෂණය පිළිබඳ අතිරේක ලේකම් ශිරෝමණී එදිරිමාන්න මෙහිදී ඉල්ලීමක් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here