පලස්තීන සමගිය ස්ථාපිත කිරීමට චීනයෙන් මෙහෙයුමක් !

0
30

2023 ජුලි 23 දින දා චීන රජයේ මැදිහත් වීමෙන් බීජිංහි දී පලස්තීන සංවිධාන වන හමාස්, PLO ඇතුළු පලස්තීන සන්නද්ධ හා දේශපාලන කන්ඩායම් 14 ක් සමගී කර “සංහිඳියා” ගිවිසුමක් අත්සන් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනු ලැබ ඇත. ඒ අනුව විවිධ හේතුන් මත බෙදී ඇති පලස්තීන සංවිධාන එකතු කර යුද්ධයෙන් පසු ගාසා තීරයේ පොදු හා අන්තර්වාර පාලනයක් සඳහා එක්ව කටයුතු කිරීමට මෙම ජාතික සමගිය හා සංහිඳියා වූ එකඟතා ගිවිසුමකට ඔවුන් අත්සන් තබා ඇත. චීන විදේශ අමාත්‍ය WANG YI හා ප්‍රතිවාදී ප්‍රධාන පලස්තීන ව්‍යාපාරයේ නියෝජිතයින් වන PLO සංවිධානයේ Mahmoud Aloul සහ හාමස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Moussa Abou Marzouk මේ අවස්ථාවට සහභාගී වී තිබිණි.

ප්‍රාදේශීයව කලාපීය දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කොටස් ලෙස බෙදී ඇති පලස්තීන ජනතාව අතර සමගිය තහවුරු කිරීම සඳහා මිත්‍ර සම්මුතීයක් ඇතිකර ගාසා තීරයේ යුද්ධයෙන් පසු “ජාතික සංහිඳියාවේ අන්තර්වාර රජයක්” නිර්මාණය කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් තැබූ බව චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මාධ්‍ය වෙත පවසා සිටියේය.

මෙම අවස්ථාවේදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Moussa Abou Marzouk පවසා සිටියේ “අද අපි ජාතික සමගිය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට පියවර ගත් අතර මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනුගමනය කළ යුතු අවසන් ක්‍රියා මාර්ගය ජාතික සමගිය බව අපි ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු,” බවයි.

මෙම නිවේදනය නිකුත් වන්නේ ගාසා තීරයේ යුද්ධය ආරම්භ වී මාස නවයකට වැඩි කාලයකට පසුවය. ඔක්තෝබර් 7 වන දින, හමාස් කමාන්ඩෝ භටයින් දකුණු ඊශ්‍රායලයේ ගාසා තීරයෙන් ඇතුළු වී සිදු කල ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 1,197 දෙනෙකු මිය ගිය අතර එයට පිළිතුරු ලෙස මේ වන විට කුඩා දරුවන් 14100, කාන්තාවන් 9000ක් ඇතුළු ව 39000ක් අධික පලස්තීන ජනතාවක් ඊශ්‍රාල් හමුදා ප්‍රහාර නිසා මරණයට පත් වී ඇත. මෙම නොනවතින යුද්ධය හේතුවෙන් ගාසා තීරය බරපතල මානුෂීය අර්බුදයකට ඇද දමා ඇත.

ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ වෙස්ට් බෑන්ඩ් බටහිර ඉවුර අර්ධ වශයෙන් පාලනය කරන PLO සංවිධානය අතර පවතින දැඩි එදිරිවාදිකම් හේතුවෙන් වඩාත් සංකීර්ණ වී ඇති මැදපෙරදිග අර්බුධය අවසන් කිරීම සඳහා මැදිහත්කාර භූමිකාවක් ඉටු කිරීමට චීනය අදහස් කරයි.

“සංහිඳියාව පලස්තීන කණ්ඩායම් වල පවතින අභ්‍යන්තර ප්‍රශ්නයක්, නමුත් ඒ සමගම, ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය නොමැතිව එය සාක්ෂාත් කරගත නොහැක,” චීන විදේශ අමාත්‍ය WANG YI වාර්තාකරුවන්ට පවසා සිටියේය.

“ගාසා තීරය සහ බටහිර ඉවුර ඵලදායී ලෙස දෙපාර්ශ්වයටම පාලනය කිරීමට” හැකි වන පරිදි මෙම නව පලස්තීන ආන්ඩුවට සහාය දෙන ලෙස ඔහු අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය.

“පලස්තීනය පරිපාලනය කළ යුත්තේ පලස්තීනුවන්ම බව” මහජන චීනය පිළිගනු ලබන අතර, එය සිදු කල යුත්තේ විදේශීය බලවතුන් විසින් නොවන බවටද තමන් පිළිගන්නා පිළිවෙත බව චීන විදේශ ඇමති වැන්ග් යලි අවධාරණය කර කියා සිටියේය.

මේ වන විට චීනය ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතාවක් පවත්වාගෙන යන නමුත් දශක ගණනාවක් තිස්සේ නිදහස් පලස්තීනයක් සඳහා සහය දෙමින් පලස්තීන රාජ්‍යයක් සඳහා පලස්තීන ජනතාවගේ අයිතිය පිළිගෙන රාජ්‍ය දෙකක විසඳුමක් වෙනුවෙන් ද පෙනී සිටී. ආසියානු දැවැන්තයා දැනටමත් හමාස් සහ ෆාටා නියෝජිතයන් අතර අප්‍රේල් මාසයේ සිට සාකච්ඡා වට කීපයක් පැවැත්වීමෙන් පසුව මෙම මූලික සම්මුතිය සඳහා එකඟතාවය පල කර ඇති බව බටහිර වාර්තා පෙන්වා දේ.

මානුෂීය ආධාර සහ සහන සේවා සැපයීම සඳහා සුමට ප්‍රවේශයක් සහතික කිරීම සඳහාත්, හැකි ඉක්මනින් ගාසා තීරයේ සාමාන්‍ය තත්වය තහවුරු කරලීම සඳහා ස්ථාවර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සඳහාත්, ගැටුම සඳහා විසඳුම යුද්ධය නොව දේශපාලන විසඳුමක් බවත් චීනය අවධාරණය කර කියා සිටි.

“සිවිල් වැසියන් තුවාල වීම සහ යුද්ධය තව දුරටත් දිගු කිරීම සාධාරණීකරණය කිරීම කිසිම නිදහසට කරුණක් නොවේ” යැයි චීන විදේශ ඇමතිවරයා මාධ්‍ය වෙත පවසා සිටියේය.

චීනය මෑත වසරවලදී මැද පෙරදිග රාජ්‍යයන් සමඟ සිය වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගෙන ඇති අතර, ඒවායින් බොහොමයක් සම්ප්‍රදායිකව ඇමරිකානු බලපෑම යටතේ පැවතුන රටවල් වීමද විශේෂිත තත්වයක් වේ. තෙල් මිලදී ගැනීමේදී චීන මුල්‍ය ඒකකය වන යුවාන් යොදා ගැනීමත් පසුගිය වසරේ ප්‍රධාන කලාපීය බලවතුන් දෙදෙනෙකු වන ඉරානය සහ සෞදි අරාබිය අතර පැවති ගැටුම් අවසන් කර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවය ඇති කිරීමටත් චීනය පහසුකම් සලසා දෙන ලදී.

එසේම හාමස් හා PLO සංවිධානය එකතු කිරීම සඳහා අතීතයේ විවිධ අවස්ථා වලදී දරු උත්සාහයන් අසාර්ථක වුයේ ඒ සඳහා ඇමරිකාව හා ඊශ්‍රාලය හාමස් සංවිධානයට ත්‍රස්ත ලේබලය අලවා ව්‍යර්ථ කරලීම නිසාවෙනි. කෙසේවෙතත් චීනය මැදිහත් වීමෙන් එකඟතාවයට පැමිණි මෙම නව සංධානය පිළිබඳව සුබ වාදී ආකල්පයක් තවමත් ඇමරිකාවෙන් හෝ බටහිරෙන් ඉදිරිපත් වී නොමැති අතර ඊශ්‍රාලය තම විරෝධය පල කර ඇත.

පලස්තීන කන්ඩායම් අතර ගැටුම් අවසන් කිරීම සඳහා චීනය මැදිහත්වීමේ ප්‍රයත්නයන් ඇතුළුව මැදපෙරදිග සාම සාකච්ඡා සඳහා පීකිං පාලනය සම්බන්ධ වීම, එහි භූ දේශපාලන බලපෑම ශක්තිමත් කිරීමට සහ කලාපය තුළ එක්සත් ජනපද ආධිපත්‍යය ප්‍රති තුලනය කිරීමට පුළුල් උපාය මාර්ගයක කොටසක් විය හැකි බව චීන උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් බටහිර විචාරකයින් මේ අතර පෙන්වා දේ.

මැදපෙරදිග කලාපය තුල තම වෙළඳ හා ආර්ථික ස්ථාවරත්වය මගින් එහි යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල ආයෝජනයන් ඇති කිරීමෙන් තම නව සේද මාවත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට චීනය අපේක්‍ෂා කරනු ලබයි. මෙවැනි රාජ තාන්ත්‍රික මැදිහත් වීම ඔස්සේ ද එක්සත් ජනපදයට හා බටහිරට විකල්ප ලෝක බලවතෙකු ලෙස නැගී සිටීමටත් ආරක්‍ෂාව, ආර්ථික, වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික යන සියළුම ක්ෂේත්‍ර තුල නව සන්ධාන ගොඩනගා ගැනීමටත් මෙමගින් චීනයට හැකියාව ලැබේ. එසේම සාම ක්‍රියාවලීන්හි නිරත වීම මගින් ද චීනයට විවිධ රටවල් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, එමගින් කලාපීය භූ දේශපාලනයට බලපෑම් කිරීමටත් ඉඩ සැලසේ. ඊශ්‍රායලය හා පලස්තීනය සමඟ දෙපාර්ශවය සමගම ඇති සබඳතා මෙන්ම යුක්රේනය සහ රුසියාව අතර ගැටුමේදීත් රාජ්‍යයන් දෙකම සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිදු කිරීම මගින් ද මෙය සනාථ වන ඔවුන් තව දුරටත් පෙන්වා දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here