කොළඹ වරාය ලෝකයේ ඉහළම වර්ධනයක් අත්පත් කර ගත් වරායන් අතර මුල් තැනට

0
36

කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

එසේම 2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බවද පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවද සඳහන් කළේය.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා මෙසේද පැවසීය.

“කොළඹ වරායේ මෙහෙයුම් කාර්ය සාධනය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව මම මුලින්ම සඳහන් කිරීමට කැමතියි. 2024 වසර තුළ කොළඹ වරාය 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය ප්‍රකාශයට පත් කර තිබෙනවා.“

“අප මේ ප්‍රගතිය ලබා ගත්තේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ද සිදුවන අතරතුරයි. නමුත් ඒවා අපගේ කටයුතු සඳහා කිසිදු බාධාවක් වූයේ නැහැ. 2023 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ලාභයක් වාර්තා කළ අතර 2024 වසරේ පළමු කාර්තුවේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ලාභයක් ලබා තිබෙනවා. මෙම මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්ත හතරම දායක වී තිබෙන බව කිව යුතුයි. මෙම පර්යන්තවල මෙහෙයුම් ධාරිතාව වර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වනවා. ඒ අනුව ECT හා බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු 2025 පෙබරවාරියේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම නැගෙනහිර පර්යන්තය සහ උතුරු වරාය සංවර්ධන කටයුතුද සිදු කෙරෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here