ආණ්ඩුවේ කෝටි 66ක් සබීතාගේ බිල්ඩිමේ හිරවෙලා’: ආපසු ගැනීමට නීතිපතිගේ සහය පතයි

0
4

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑමට ලබාගත් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට තැන්පතු වශයෙන් ලබාදුන් රුපියල් කෝටි 66ක මුදල යළි ලබා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි කෘෂිකර්ම ඉඩම් ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා ඊයේ (ඔක්. 21) පැවසීය.

ආණ්ඩුවේ මුදලින් තැන්පතු මුදලක් ලබා දෙන විට බැඳුම්කරයක් තිබිය යුතු නමුත් මෙම ගොඩනැගිල්ල ලබා ගැනීමේදී එවැනි බැඳුම්කරයක් ලබා ගෙන නොමැති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙසේ ද කීය.

“පසුගිය කාලයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවිධිමත් ගනුදෙනු සිදු වූ බවට අපට වාර්තා වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට පෞද්ගලික අංශයෙන් ගොඩනැගිල්ලක් අර ගෙන තිබුණා. මෙම ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වුණා. මෙම ගොඩනැගිල්ල ලබා ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් තබා තිබෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ මුදලින් තැන්පතුවක් තබනවා නම් බැඳුම්කරයක් ලබා ගත යුතු යි.

නමුත් එවැනි බැඳුම්කරයක් ලබා ගෙන නැහැ. දැනට මෙම ගොඩනැගිල්ල භාර දීලා වසර ගණනක් ගතවෙනවා. එම තැන්පතු මුදල නැවැත ලබා දීලා නැහැ. රජය එය ලබා ගැනීමට උත්සාහ කරලත් නෑ. ඒ සම්බන්ධයෙන් මම නීතිපතිවරයා දැනුවත් කළා. ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව පිළිබඳව දැනට සොයා බලමින් සිටිනවා.”

යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑමට එවකට විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ. ගොඩනැගිල්ල රුපියල් මිලියන 21ක මාසික කුලියකට ලබා ගෙන තිබිණි. ජනප්‍රිය සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැඟිල්ලට රජය ලබාදුන් කුලී මුදල පිළිබඳව එවකදී විවේචන එල්ල විය.

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවද මෙම ගොඩනැගිල්ල පිළිබඳව අවධානය යොමුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here