අයිඑම්එෆ් සමග ඇති කරගත් ක්‍රියාදාමය ඉදිරියට යාම සතුටුදායකයි – එජාප සභාපති වජිර අබේවර්ධන

0
18

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙනගිය ආර්ථික ක්‍රියාදාමය හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ක්‍රියාදාමය එලෙසම වත්මන් ජනාධිපතිතුමා දියත් කරනවා. එම නිසා ඒ දෙස අප බලා සිටිය යුතුයි. ඉන් එහාට ගිය දෙයක් වුණොත් අපිට ඒ දෙස වෙනත් කෝණයකින් බැලීමට සිදුවෙනවා’ යැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ, ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින අපේක්ෂකයින් සමග (14 දා) ගාල්ල, උලුවිටිකේ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවෙන් අනතුරුව වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණ ව්‍යාපාරය ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙහෙයවන්නේ කෙසේද යන කාරණය ගැන අද අප සාකච්ඡා කළා. මෙම මස 19 වෙනිදා එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ සියලු සංවිධාන අප කැඳවා මෙම මැතිවරණයට මුහුණදිය යුතු ආකාරය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින සියලු අපේක්ෂකයින් හඳුන්වාදීමටත් අප කටයුතු කරනවා.

ඒ අනුව සියලු පක්ෂ සමග ඒකාබද්ධ වී තරග කරන මෙම මැතිවරණයේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වේ යැයි යන උපකල්පනය මත, ඒ වගේම පසුගිය විපක්ෂය විසින් ඔවුන්ගේ කාර්යභාරය හරිහැටි ඉටුකර නොමැති වාතාවරණයක විපක්ෂයේ කාර්යභාරය එක්සත් ජාතික පක්ෂය විසින් අනාගතයේ දී හසුරවනනේ කෙසේද යන අභියෝගය අපට පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරි කාලය තුළ පෙලගැස්වීමේ කටයුතු අප දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳවත් විවිධ පාර්ශව විවිධ මත ඉදිරිපත්කර තිබෙනවා අපිට දකින්න පුලුවන්. නමුත් ඒ ගැන තවම අපට නිසියාකාරව කියන්න හැකියාවක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවෙලා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත, අයවැය කාර්යාලය, දූෂණ විරෝධී පනත, කාන්තාවන් සවිබලගැන්වීමේ පනත, ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරලා නැවත ගෙවීමේ පනත යන මේ පනත් සියල්ලම අපට පෙනෙන විදිහට වර්තමාන ජනාධිපතිතුමා ඉදිරියට ගෙනයමින් තිබෙනවා. ඒ නිසා අපට දැන්ම ඒ සම්බන්ධයෙන් යම්කිසි නිගමනයකට එන්න හැකියාවක් නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනගිය ආර්ථික ක්‍රියාදාමය වෙනස් නොකර එලෙසම වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනයන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප එකඟ කරගත් ක්‍රියාදාමය ඔවුන් එලෙසම පවත්වාගෙන යනවා නම් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති මාලාව ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එසේනම් අපි දේශපාලන වශයෙන් ඒ දෙස වෙනම ආකාරයකට බැලිය යුතුව තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලාංකික මහජනතාව විසින් ශ්‍රී ලාංකික මහජනතාවගේ වගකීම පහුගිය මැතිවරණයේදී බාරගෙන තිබෙනවා. ඒ දෙස අප මේ අවස්ථාවේදී බලා සිටිය යුතුයි. ඉන් එහාට ගිය දෙයක් අපිට මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට නොහැකියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනගිය ආර්ථික සැලැස්මනම් තවදුරටත් රට තුළ ක්‍රියාත්මක වන්නේ, අපි ඒ දෙස සුබවාදීය බැලිය යුතුයි. යම්කිසි ආකාරයකින් ඔවුන් එය වෙනස් කළහොත් අපිට වෙනත් කෝණයකින් ඒ දෙස බැලීමට සිදුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here