හොඳම විකල්පය භාණ්ඩාගාර බැඳුම්කර අලෙවියයි

0
24

භාණ්ඩාගාර බැඳුම්කර අලෙවිය මඟින් රටට ලැබෙන වාසිය කුමක්ද? මහා භාණ්ඩාගාර බැඳුම්කර යනු මොනවාද? නව රජය බලයට පත්වීමෙන් පසු මෙරට ආර්ථිකය ගමන් කරන දිශාව, මෑත කාලයේ ලබා ගත් ණය මුදල් මෙරට ආර්ථිකයට බලපාන ආකාරය සහ තවත් කාලීන කරුණු පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක මහාචාර්ය නවරත්න බණ්ඩා මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

අපට 2028න් පසු ණය ගෙවීම අපහසු දෙයක් වෙන්නේ නැහැ.

දේශීය අාර්ථිකය ශක්තිමත් කළ යුතුයි.

නාස්තිය දූෂණය වැළැක්වීම ආර්ථික දියුණුවට ශක්තියක්.

ණය ලබා ගැනීම පිළිබඳ එල්ල වන චෝදනා කිසිදු පදනමක් නෑ.

ආර්ථිකය ශක්තිමත් වීමෙන් වෙළෙඳපොළ සක්‍රිය වෙනවා.

l නව රජය බලයට පැමිණීමෙන් පසු භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම් කිහිපයක් සිදු කළා. මේ භාණ්ඩාගාර බැඳුම්කර අලෙවිය මඟින් මෙරට ආර්ථිකයට ලැබෙන සහාය මොනවගේ ද ?

රටේ දෛනික කාර්යභාරය ඉටු කිරීම සඳහා මුදල් අවශ්‍ය කරනු ලබනවා. අද තත්ත්වය අනුව අපට රටක් විදිහට මුදල් අච්චු ගහන්න බෑ. ඒත්, අපට රටක් විදිහට අවශ්‍ය කරනු ලබන කාර්යය ඉටු කිරීම සඳහා මුදල් අවශ්‍ය කරනු ලබනවා. ඒ සඳහා දේශීය ලබා ගන්නා ණය විශේෂයක් තමයි භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ. මෙහිදී රජය දේශීය ණය හිමියන්ගෙන් මාස හයට, අවුරුද්දට ණය මුදල් ලබා ගන්නවා. එහිදී මහා භාණ්ඩාගරය විසින් ලබා දෙන පොරොන්දු පත්‍රයක් තමයි මහා භාණ්ඩාගාර බැඳුම්කරය කියන්නේ. අයවැය හිඟයක් තියෙද්දී ඒ හිඩැස පියවන්න තිබෙන හොඳම ක්‍රමය තමයි බැඳුම්කර මඟින් අදාළ හිස්තැන පිරවීම. මෙය හොඳම ප්‍රවේශයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

මහා භාණ්ඩාගාර බැඳුම්කර මඟින් දේශීයව ලබා ගන්නා ණය මඟින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වගේම ඇතිවන උද්ධමනය පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා. දේශීයව ලබා ගන්නා බැඳුම්කරවලට අවශ්‍ය කරනු ලබන ණය පියවීමේදී අදාළ මුදල සහ පොලී ලබා දීමට කටයුතු කළ යුතුයි.

l නව රජය බලයට පැමිණි පසු දිගින් දිගටම ණය මුදල්, භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගන්නවා යැයි ඇතැමුන් චෝදනා කරනවා. මේ චෝදනා පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

මේ අවස්ථාවේ සිදු කළ හැකි සුදුසුම දේ තමයි රජය විසින් සිදු කරනු ලබන්නේ. අද තිබෙන ආර්ථික තත්ත්වය අනුව ඇති කරන්න පුළුවන් හොඳම විකල්පය තමයි භාණ්ඩාගාර බැඳුම්කර අලෙවිය. ඒ නිසා රජය ගනු ලබන මේ ක්‍රමය වඩාත් සුදුසු දෙයක් විදිහට පෙන්වා දීමට පුළුවන්.

l පෙර කාලයේ ගනු ලැබූ ආර්ථික ක්‍රියාමාර්ග සහ අද ගනුලබන ක්‍රියාමාර්ග අතර වෙනසක් ඔබ දකිනවා ද ?

ඔව්, ආණ්ඩුවේ අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් අච්චු ගහන කාලයක් තිබුණා. ඒත්, අද වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුව අපට මුදල් මුද්‍රණය කිරීමක් සිදු කරන්න බැහැ. ඒ නිසා අපේ රටේ උද්ධමනය පාලනය වීම වගේම රුපියල සැහැල්ලු වීම නැවතී තිබෙනවා. ඒ නිසා තමයි දේශීයව ලබා ගන්නා ණය මුදල් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලබා ගන්නා ණය මුදල් ලෙස සඳහන් කරන්න පුළුවන්.

l අයි. එම්. එෆ්. කොන්දේසි තුළ මෙවැනි දේ සඳහන්ව තිබෙනවා ද ?

ඔව්, ඇත්තෙන්ම කොන්දේසි විදිහට මේවා හඳුන්වනු ලැබුව ද මේවා රටේ යහපත් ආර්ථික විනය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග විදිහට හඳුන්වන්න පුළුවන්. මේ විදිහේ දේ මඟින් අපේ ආර්ථිකය ස්ථාවර වීමට හැකියාව ලැබෙනවා.

l පසුගිය කාලයේදී අපේ රටට ලැබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නිසා මෙරටට ලැබුණු ප්‍රතිලාභ සහ ස්ථාවරය පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු සහාය නිසා අපේ රටේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්වුණා. මෙම ණය ප්‍රමාණවලින් අපේ රටේ ආර්ථික අර්බුදය මුළුමනින්ම අවසාන වුණා කියලා කියන්න බැහැ. එහෙත් විශ්වාසයක් ඇති කරන්න පුළුවන් ලෝකයට අප, ලෝකයේ විශ්වාසනීය රටක් කියලා. මෙම ණය ලබා ගැනීම් මඟින් සිදු කරනු ලබන්නේ එයයි.

l නව ජනාධිපතිවරයා වෙත දේශපාලන විරුද්ධවාදීන් එල්ල කරන චෝදනාවක් තමයි, මාසයක් ඇතුළත විදෙස් ණය ලබා ගත් බව. මේ චෝදනා පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

මේ චෝදනාව ඇත්ත තත්ත්වය බලා එල්ල කරනු ලබන චෝදනාවක් නොවෙයි. ලබාගනු ලබන ණය වියදම් කිරීමක් නොවෙයි කරන්නේ. භාණ්ඩාගාරයේ ගිණුම්වල තැන්පත් කරනු ලබනවා. එවිට අපේ ආර්ථිකය ස්ථාවරභාවය රැඳෙනවා. අනෙක මේ ණය ලබා දීම් මඟින් අපේ රටේ ආර්ථිකය පිළිබඳව ද විශ්වාසයක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම ගනිමු. මෙහෙම දෙයක් අපි ගමේ ක්‍රමයට අපට එක් පිළිගත් කෙනකු ණයක් ගන්නවා. ඉන්පසු අපට තවත් ගමේ තැනකින් ණයක් ගැනීමට පහසුයි. මම ඒ සඳහන් කළේ සරල උදාහරණයක්. ඒ උදාහරණය අපට ජාත්‍යන්තර මට්ටමට වුණත් ගළපාගන්න පුළුවන්. රජය පසුගිය කාලයේදී ලබා ගත් ණය මුදල් මඟින් සංචිත පහළ යාම පාලනය කර ගැනීමට පුළුවන්. මේ අවස්ථාවේදී කළ යුතු සුදුසුම ක්‍රියාමාර්ගය තමයි අරන් තිබෙන්නේ. ඒ නිසා මේ ණය ලබා ගැනීම පිළිබඳ එල්ල වන චෝදනා කිසිදු පදනමක් නැති ඒවා විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ.

l ආර්ථිකය සක්‍රිය වීම පිළිබඳ ලැබෙන සංඥා මොනවාද ? ඒ තුළ රටට ලැබෙන වාසිදායක දේවල් මොනවාද ?

ආර්ථිකය ශක්තිමත් වීම තුළ රැකියා වෙළෙඳපොළ නැවත ඇති වෙනවා. අලුතින් කර්මාන්ත, ව්‍යාපාර බිහිවෙනවා. කාලයක් ඇනහිටතිබූ ආර්ථික කටයුතු සක්‍රිය වීම තුළ අපේ කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතු ක්‍රියාකාරී වීම තුළ රට තිබුණු තැනෙන් යළිත් ඉහළට ගමන් කිරීම සිදු වනු ලබනවා. මේ විදිහට රැකියා බහුල වීම කියන්නේ නැවත කර්මාන්ත ඇතිවීම, ආයෝජකයන් රටට පැමිණීම වැනි දේ සිදු වීමයි.

l ආර්ථිකයේ විනාශයට මූලික වූ කරුණක් ලෙස නාස්තිය හඳුන්වනු ලබනවා. නාස්තිය නැවැත්වීම මඟින් අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් තිබෙනවා ද ?

අනිවාර්යයෙන් ආර්ථික විනාශයට නාස්තිය, දූෂණය නිසා ආර්ථිකය ලොකු අර්බුදයකට ලක් වුණා. උදාහරණයක් විදිහට මැති ඇමැතිවරු, ඉහළ නිලධාරීන් වෙත විශාල වරප්‍රසාද ලැබෙනවා. ඒ නාස්තිය නැති කිරීම මඟින් පමණක් වුණත් රටට ලොකු මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අප මූලිකව කළ යුතු දෙයක් බවට පත්ව තිබෙන්නේ නාස්තිය, දූෂණය නැවැත්වීමයි. රාජ්‍ය මිලදී ගැනීමක් උදාහරණයකට ගනිමු. සාමාන්‍ය විදිහට හොඳ වෙළෙඳ නාමයක් තිබෙන පරිගණකයක් රුපියල් ලක්ෂ තුනක් යැයි සිතමු. එහෙත් ඒ පරිගණකය මිලදී ගැනීමෙන් ලොකු කොමිස් එකක් ලැබෙන්නේ නැහැ. එහෙත් බාල වෙළෙඳ නාමයක් ඇති පරිගණකයක් අඩු මුදලට අරගන්නවා වැඩි කොමිස් එකක් ඇතිව. එහෙත් ඒ පරිගණකයේ පැවැත්ම අඩුයි. කොමිස් මුදල්වලට කටයුතු කිරීම නිසා සිදුවන්නේ ඒ වගේ නාස්තියක්. මාර්ග ඉදිකිරීම්වලදී පවා සිදු වුණේ ඒ වගේ නාස්තියක් සහ දූෂණයක්. අපේ රට ආර්ථික අර්බුදයක් වෙත ගමන් කිරීමට එය ද විශාල ලෙස බලපානු ලැබුවා.

l අපේ රට ලබා ගත් ණය මුදල් නැවත ගෙවීම ආරම්භ කිරීම 2028 වර්ෂයේදී සිදු වෙනවා. මේ කාලය වනවිට දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද ?

අනිවාර්යයෙන්ම දේශීය ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. එහිදී අපට පහසුවෙන් ශක්තිමත් කළ හැකි දේශීය ආර්ථික ක්‍රමවේදයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ. අපට රටක් විදිහට සංචාරක කර්මාන්තයෙන් පෙරට යාමට ලොකු අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා අපට පුළුවන් නම් සංචාරක කර්මාන්තය හරි මාර්ගයට ගැනීමට අපේ රට තුළ රැකියා අවස්ථා මෙන්ම ව්‍යාපාරික අවස්ථා ද සුලබ වෙනවා. සංචාරකයන් මෙරටට අරන් එන්නේ ඩොලර්. ඒ ඩොලර් අපේ රටේදී රුපියල් බවට පත් කර ගනු ලබනවා. ඒ තත්ත්වය තුළ අපට අලුත් ආර්ථික ශක්තියක් ලබා ගැනීමට සංචාරක කර්මාන්තයට විශාල අවස්ථාවක් තිබෙනවා. ඒ අතර අපට ආයෝජන අවස්ථා ලබා ගැනීම මඟින් මෙන්ම කෘෂිකර්මාන්තය වැනි සාම්ප්‍රදායික දේවල් ශක්තිමත් කිරීමත් අපේ සාම්ප්‍රදායික දේ පිළිබඳව සංචාරකයන්ගේ ආකර්ෂණය ඇති කර ගැනීම මඟින් දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා. මේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස ඇති කළොත් අපට 2028න් පසු ණය ගෙවීම අපහසු දෙයක් වෙන්නේ නැහැ.

උදිත ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here