‘ශ්‍රී ලංකාවේ කෘෂි ඵලදායීකත්වය දුර්වල මට්ටමක’: UNDP ජනපතිට කියයි

0
26

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායීතාව දුර්වල මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පෙන්වා දෙයි.

එම වැඩසටහනේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය (ඔක්. 14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව පෙන්වා දුන්නා ය.

එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළේ, කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් බව ත් ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස නොසලකන අතර මෙම ගැටලුව විසඳීම සඳහා කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩි දියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ත් ය.

එමෙන් ම, එම වැඩසටහනේ මහ ලේකම්වරිය ජනාධිපතිවරයා හමුවේ සහතික වූයේ, රාජ්‍ය පාලනය හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් ලංකාවට දායකත්වය සැපයීමට සූදානම් බව ය.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවට ලක් විය.

ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම සීමා කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම් අභියෝගවලට මුහුණපෑමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබේ.

එසේ ම, කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කිරීම ද ඊට හේතුවක් බව පෙන්වා දුණි.

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමගින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම, මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වන ලදී.

මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජිතවරිය සහතික වූවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here