වහාම ක්‍රියාත්මක වන පරිදි සාගලට ජාත්‍යන්තර පට්ටම් දෙකක්

0
72

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ තනතුරු දෙකක් ලබා දී ඇත.

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඉරානයේ දී ඝාතනය කිරීමෙන් පසුව මැද පෙරදිග සහ ලෝකයේ ඇති විය හැකි තත්වයන්ගෙන් ශ්‍රි ලංකාවට එල්ල වන බලපෑම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කමිටු දෙකක සාමාජිකත්වය සාගල රත්නායකට පිරි නමා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකින් කියවෙන්නේ එම ප්‍රස්තුතය සොයා බැලීම සඳහා කමිටු තුනක් පත් කළ බව ය.

එම එක් කමිටුවක් වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ කමිටුවක් වන අතර අනෙක් කමිටුව ආර්ථිකයට සිදු වන බලපෑම් සම්බන්ධයෙන් සොයා බලන කමිටුව ලෙස හඳුන්වා දී තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ කමිටුවට සාගල රත්නායකට අමතරව ඇමති ටිරාන් අලස්, විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පත් කර තිබේ. ආර්ථිකයට සිදුවන බලපෑම් පිළිබඳව සොයා බැලීමේ කමිටුවට සාගල රත්නායකට අමතරව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක එස්. සමරතුංග යන අය පත් කර සිටිති.

මෙම කමිටු දෙකෙන් ලබා දෙන යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ක්‍රියා කරන තුන් වන කමිටුව රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, අලි සබ්‍රි, කංචන විජේසේකර, මනූෂ නානයක්කාර යන දේශපාලනඥයින්ගෙන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙන් ම, අගමැති ලේකම් අනුර දිසානායකගෙන් සමන්විත බව නිවේදනය කර තිබේ. හට ගෙන තිබෙන ජාත්‍යන්තර තත්වය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කර ප්‍රචාරක වාසි ලබා ගැනීම සඳහා මෙම කමිටු නම් කර තිබුණ ද අදාළ ක්ෂේත්‍ර පිළිබඳව විශේෂඥයින් කිසිවෙකුත් ඒ කමිටු තුළ නොසිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here