ලොහාන්ගේ ලේකම්ගේ මරණය ගැන විමර්ශන සීඅයිඩීයෙන්

0
49

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ. හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ම ඔහුගේ පුද්ගලික ලේකම් බී.එම්.ඒ.එස්. බස්නායක වෙඩි වැදී මියගොස් සිටියදී පෙරේදා සොයාගැනිණි. ඔහු කටුගස්තොට අලදෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ මෙහෙයවීම මත කටුගස්තොට පොලිසිය මූලික විමර්ශන සිදුකළ අතර මරණය සියදිවි නසාගැනීමක් බවට එහිදී හෙළිවී තිබුණි.

ඒ පුද්ගලික ලේකම්වරයා විසින් ඔහුගේම අත් අකුරෙන් සහ අත්සනින් යුතුව ලියා තැබූ ලිපියක් හමුවීමෙනි.

‘මා ඉමහත් ශාරීරික වේදනාවකින් මාස ගණනාවක් තිස්සේ ප්‍රතිකාර ගත්තද කිසිදු සුවයක් නොමැත. වෛද්‍යවරු ගණනාවකගෙන් ප්‍රතිකාර කළෙමි. නමුත් මාගේ මානසික පීඩානය ද බරපතළව මා හට පීඩා දෙන බැවින් මින් ඉදිරියටත් මෙම වේදනාව දරාගැනීමට නොහැකිය. එම නිසා මා ජීවිතයෙන් සමුගැනීමට තීරණය කළෙමි. මාගේ අවසන් කටයුතු කඩිනමින් ඉවර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි’ යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබිණී.

මූලික විමර්ශනවලට අනුව මෙය සියදිවි නසාගැනීමක් ලෙස සනාථ වුවත් මෙය සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති සිදුවීමක් වන හෙයින් එහි වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙන බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here