පිරිසක් එක්ව කළ පහර දීමකින් මාතලේ මහවිල ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
සිය පාසල් මිතුරියකගේ වැඩිහිටි පාර්ශ්වය විසින් සිදුකරන ලදැයි කියන මෙම පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරද්දීත් මිය ගොස් සිටියේ යැයි කියති.
මාතලේ කොහොලන්වල ප්‍රදේශවාසී පාසල් මිතුරෙකුගේ පෙම්වතිය බව කියන සිසුවියක මුණ ගැසීම සඳහා මිතුරා සමග මාතලේ, සිතුවම්කන්ද ප්‍රදේශයට යන අතරමඟදී පෙරේදා (ඔක්. 1) මෙම පහර දීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ, මාතලේ, කොහොලන්වල මෝගන් යුගේස් නමැති 17 හැවිරිදි සිසුවෙකි.
පොලිසිය පවසන ආකාරයට මාතලේ, කොහොලන්වල ප්‍රදේශවාසියෙකු වන සිසුවෙකු මාතලේ, සිතුවම්කන්ද ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සමග පෙම් සබඳතාවක් ඇති කර ගෙන ඇති නමුත් සිසුවියගේ මව්පිය පාර්ශ්වයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි කියයි.
පහර දීම වූ දිනයේ මෙම සිසුවිය යොමුකළ ජංගම දුරකතන කෙටි පණිවිඩයක් අනුව පෙම් සබඳතාව ඇතිකරගත් සිසුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඇය මුණගැසීමට සිතුවම්කන්ද ප්‍රදේශයට ගොස් ඇත.
එහිදී මඟ රැක සිටි සිසුවියගේ වැඩිහිටියන් සිසුවන් ගමන් කළ යතුරුපැදිය නතර කර ඔවුන්ට පොලුවලින් පහර දී ඇතැයි කියයි.
මෙසේ පහර දෙද්දී එක් සිසුවෙකු පළා ගොස් ඇතත් පෙම්වතා බව කියන සිසුවා හා තවත් සිසුවෙකු බරපතළ ලෙස පහර කෑමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
සිසුවියගේ පියා සහ ඇගේ සහෝදරියකගේ සැමියා එක්ව මෙම පහර දීම කර ඇතැයි පොලිසියේ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර සිසුවියගේ පියා මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවසීය.
මේ අතර, සිසුවියගේ සහෝදරියගේ සැමියා ප්‍රදේශය අතහැර පළා ගොස් ඇතැයි ද සැකකරු සෙවීමට පොලිස් කණ්ඩායම් යොදා ඇතැයි ද එම නිලධාරියා කීය.
මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ උපදෙස් මත මහවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හේවා පී. කරුණාරත්න – මාතලේ