තුන් නිවුන් දරු පවුලට නව නිවසක් තනාදීමට හන්තාන ගඟසිරිපුර හිමියෝ ඉදිරිපත් වෙයි

0
28

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ ගහක පැලක් මත දිවි ගෙවූ තුන් නිවුන් දරුවන් බිහිකළ මවට නව නි‍ෙවසක් තනාදීම සඳහා හන්තාන පොඩි හාමුදුරුවෝ ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ ඉදිරිපත්ව සිටිති.

එම නව නිවෙසට මුල්ගල තැබීම පෙරේදා (27) පෙරවරුවේ සිදු කෙරිණි.

මීට මාස දෙකකට පමණ ඉහත දී හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මවක නිවුන් දරුවන් බිහිකළ අතර එම දරුවන් රෝහලෙන් රැගෙන යෑමට වන මැද තිබූ කටු මැටි නිවසක් පිළිබඳවත් දරුවන්ගේ පියා ගස උඩ පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ සිටින බවත් ඔවුන්ට තවත් වැඩිමහල් දියණියක ද සිටින බවත් මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබා දෙමින් රටට හෙළිදරව් කරන්නට විය.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් හන්තාන සඳගිරිසෑය විහාරස්ථානයේ විහාරාධිපති ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් මෙම තුන් නිවුන් දරුවන්ගේ පවුල පිළිබඳ අවධානය යොමුකොට කඩිනමින් නිවසක් තනා දෙන බව ප්‍රකාශ කරන්නට වූහ.

ඒ අනුව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගෙන ප්‍රාදේශීය ලේකම්වරයා සතු වූ ඉඩම් කැබැල්ලක් ලබාගෙන දරුවන්ගේ පවුලට නව නිවස තැනීම සඳහා මුල පිරීම මෙදින සිදුකෙරිණි.

මෙදින උන්වහන්සේගේ සුරතින් නිවසේ මුල්ගල තබා සති තුනක් ඇතුළත අංග සම්පූර්ණ නිවසක් තනා දීමට සඳගිරිසෑ විහාරයේ හා තමන්ගේ දායක දායිකාවන් එක්ව සිදුකරන බවත් එය සඳහා ඕනෑම අයකුට ශ්‍රමදායකත්වය ලබා දීමට හැකි බවත් උන්වහන්සේ මෙහි දී පැවැසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here