නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් භාවිත කරන ලදැයි කියන සිද්ධියේ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ සිට කුරුණෑගල දක්වා ඊයේ (22 වැනිදා) පිටත්ව ගොස් තිබේ.
බදු වංචා කරමින් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද හා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් භාවිත කිරීම, සොරකම් කරන ලද ගරාජ් අංක තහඩුව අත්අඩංගුවට ගන්නා ලද කාර් රථයට සවිකර භාවිත කිරීම හා එය කොළඹ හිල්ටන් හෝටලය වෙත සැඟවීමට යොමු කිරීම ඇතුළු වරදවල් සිදුකරන ලදැයි චෝදනා යටතේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළව මෙතෙක් කරන ලද විමර්ශනයේදි සාක්ෂි මගින් අනාවරණය වූ කරුණු අනුව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු නමැති සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ මෝටර් රථ වාහන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදුකර ඇති බව අනාවරණය වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත්වරිය වෙත දැනුම් දී තිබේ.