U-19 නායක ඝාතනයේ තොරතුරු රැසක් එලියට.. වෙඩික්කරු වමාරයි..

0
15

ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් 2024 අගෝස්තු මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා සහ බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා නියෝග කළේය.

අනෙක් සැකකරු හෙට (22) දින දක්වා ගාල්ල අපරාධ කොට්ඨාශය භාරයේ රදවාගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පෙරේදා (20) රැදවුම් නියෝග ලබා දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ සිද්ධියේ පළමු සැකකරු නො.16/9, රන්දොඹේ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි මුකුන්දාදුර සමන් ප්‍රියංකර පෙරේරා (48) නොහොත් ‘ලොකු මල්ලී’ සහ තුන්වන සැකකාරිය නො. 302, මහපැලෑන, කොස්ගොඩ ලිපිනයේ පදිංචි වීරසේකර ආරච්චිලාගේ සංගීතා නදීෂානී (39) යන දෙදෙනාය.

රැදවුම් නියෝග ලබාදෙන ලද්දේ නො. 35/3, නාගරුක්ඛාරාම පාර, කළේගාන, ගාල්ල ලිපිනයේ පදිංචි මොහොට්ටාලලාගේ ඉන්දික ප්‍රගිත් දිසානායක (37) නොහොත් ‘පැණියා’ නැමැති අයටය. මෙයින් පළමු සැකකරු බළපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් පෙරේදා (19) දින රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර තුන්වන සැකකාරියට හා දෙවන සැකකරුට අදාල නියෝගයන් බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (20) දින ලබා දෙන ලදී.

අම්බලන්ගොඩ, කන්දේවත්ත ලිපිනයේ පදිංචි ධම්මික නිරෝෂණ (41) හෙවත් පොඩි ජොන්ටි නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. ධම්මික නිරෝෂණ පසුගිය 16 දින රාත්‍රී 9.30 ට පමණ ඔහුගේ නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ගාල්ල අපරාධ කොට්ඨාශයේ අත් අඩංගුවට පත් දෙවන සැකකරු ගාල්ල, කළේගාන ලිපිනයේ ස්ථිර පදිංචි කරුවෙකු වුවත් ඔහු දැනට තුන්වන සැකකාරියත් සමග මහපැලෑන, කොස්ගොඩ ලිපිනයේ ජීවත් වන බව පොලීසිය කියයි. ඔහුගේ අනියම් බිරිද, තුන්වන සැකකාරිය බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූ බවද ගාල්ල අපරාධ කොට්ඨාශය කියයි. පළමු සැකකරු වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් දෙවන සැකකරු පළමු සැකකරු සමග ගොස් වෙඩි තැබීමට උදව් උපකාර කර පසුව පලා යෑමට යතුරු පැදිය පදවා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තුන්වන සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සදහා ආධාර අනුබල දීම යන චෝදනාව යටතේය.

පළමු සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමෙන් ලද තොරතුරු මත වෙඩි තැබීම සදහා මුහුණු ආවරණයට යොදා ගත් ඇදුම් අම්බලන්ගොඩ පාළු ප්‍රදේශයක සගවා තිබියදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ. දෙවන සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පසු අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ සොහොන් පිටියක සගවා තිබූ වෙඩි තැබීමට යොදා ගන්නා ලද බෝර – 12 ගිනි අවිය සොයා ගෙන තිබේ. මෙම ගිනි අවිය විදේශීය රටක නිශ්පාදිත නවීන පන්නයේ එකක් බවද ගාල්ල අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මිටර් 500 ක් 600 ක් පමණ පයින් ගමන් කර ඊට පසු යතුරු පැදියකින් පලාගොස් තිබෙන බවට පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයිද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here