සැකකරු රටින් පනී, කළු සල්ලි නඩුවේ ඇපකරුවන්ට ලක්ෂ 90ක දඩ

0
19

හෙරොයින් ජාවාරමෙන් හා උපයා ගත් ආකාරය අනාවරණය කළ නොහැකි ආකාරයෙන් උපයා ගත් රුපියල් ලක්‍ෂ සියයකට අධික වටිනා මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරැදි සිදුකර ඇතැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවක විත්තිකරු අධිකරණය මඟහැර රටින් පළා යෑම නිසා ඔහුගේ ඇපකරුවන් තිදෙනාට රුපියල් ලක්‍ෂ 90ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේ ය.

රජිත අසන්ත නමැති විත්තිකරු වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී තිබූ තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රසන්න ප්‍රනාන්දු හා ඒ.එම්. යුෂුප් මොහොමඩ් ඉක්රම් යන ඇපකරුවන් තිදෙනාට එලෙස දඩ නියම කළ අතර දඩ නොගෙවන්නේ නම් මාස තුන බැගින් ලිහිල් සිර දඬුවම් ලබා දීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.

එම ඇපකරුවන් තිදෙනා පෙර කී විත්තිකරු වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී රුපියල් ලක්‍ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් තබා තිබිණි.

යම් සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වන පුද්ගලයන් අධිකරණය නියම කරන සෑම නඩු දිනයකදී ම එම විත්තිකරුව හෝ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීමට බැඳෙන බව ත් එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් ඇප බැඳුම්කරයේ වටිනාකම සම්පූර්ණයෙන් ම ඇපකරුවන්ගෙන් අයකර ගැනීමට අධිකරණයට හැකියාවක් ඇති බව ත් පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝග කළේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේ ය.

එලෙස අධිකරණය මඟහැර රටින් පළා ගොස් සිටින පෙර කී විත්තිකරුට පමණක් නොව ඔහුගේ බිරියට ද එවන් චෝදනා යටතේ වෙනත් මහාධිකරණ හමුවේ තවත් නඩු කටයුතු තුනක් පවතින බව ද එහිදී අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here