මේ මාසයේ මෝදි ලංකාවට.. ස්වෛරීභාවය අහිමි කරන ගිවිසුම් 10කට අත්සන්…

0
18

අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ස්වෛරීභාවය අහිමි කෙරෙන අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීමට සැරසෙන බවත් ඊට ඉඩදී නිහඩව සිටියහොත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් මෙන් ඒවායින් ද ගැලවීමට ඉදිරියේදී බලයට එන කිසිදු ආණ්ඩුවකට නොහැකි වන බවත් පෙන්වා දෙන සර්වජන බලය විධායක කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ අවබෝධතා ගිවිසුම් දහය තැබීම වැළැක්වීම පිණිස මේ රටේ සියලු දේශපාලන ව්‍යාපාර වාදභේද පසෙක ලා එක්සත්ව එකමුතුව කටයුතු කළ යුතු බවත් අවධාරණය කරයි.

බෙරැල්ල පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශීර්ෂ ප්‍රණාමය

“පළමුකොටම අපි සර්වජන බලය දේශපාලන එකමුතුව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතනවා. ඔවුන් සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් රැගෙන ආවා. ඔවුන් ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනාගත්තේ ඉතා කැපවීමකින්, සාමූහිකත්වයකින් බව අප දුටුවා. ඒ කැපකිරීමට, විනයට සාමූහිකත්වයට අපි අපේ ශීර්ෂ ප්‍රණාමය ඔවුනට පුද කරනවා. ජයග්‍රහණ අහිමි වෙලා තිබෙන රටකට, ‘ජයග්‍රහණ ලබාගත හැකියි’ කියන විශ්වාසය තමයි ඔවුන් රැගෙන ආවේ.

ජයශංකර් රහසින්ම ඇවිත්

සියලුදෙනාගේ අවධානය ජනාධිපතිවරණය දෙසට යොමුව ඇති වෙලාවක, කිසිවකුගේ අවධානය යොමු නොවූ වැදගත්, බලවත්, ඒ වගේම අපේ රටේ ඉරණම කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් පිළිබඳව දැනුම්වත් කරන්නයි අපි ප්‍රධාන වශයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ. අපි කවුරුත් දන්නවා ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සති කිහිපයකට පෙර, දින දෙකක පමණ සංචාරයකට ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාවට පැමිණි බව. ඒ දින කිහිපය තුළ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කීපයක් සිදුවන ආකාරය අපි දුටුවා. සාකච්ඡා වූ දේවල් එතරම් නිරාවරණය නොවූවත් දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය තහවුරු කෙරුණා, කියන එක තමයි සිරිත් පරිදි ප්‍රකාශයට පත් වුණේ. නමුත් අපට වාර්තා වූවා මීට දින ගණනකට කලින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අප්‍රකටව ශ්‍රී ලංකාවට පැමිණි බව. එසේ පැමිණ ජනාධිපතිවරයා හමුවෙලා දෙරට අතර තීරණාත්මකව බලපාන කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කරලා, කිසියම් එකඟතාවකට පැමිණිලා නැවත ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය මාධ්‍යයට අනාවරණය වූ හෝ දේශපාලන ලෝකයේ බොහෝදෙනකුගේ අවධානයට ලක් වූ තොරතුරක් නොවෙයි. අපි ඉතා වගකීමෙන් කියනවා, අපට තොරතුරු ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර කීපයකින්ම මෙම තොරතුර තහවුරු කරගැනීමෙන් අනතුරුවයි එය ඔබ ඉදිරියේ මෙසේ පවසන්නේ කියලා.

අගෝස්තුවේ මෝදි ලංකාවේ?

මෙහිදී අපට මතුවන ප්‍රශ්න තමයි, ‘ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එසේ අප්‍රකටව ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි? එසේ පැමිණ ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී එකඟ වූ කාරණා කවරේද?’ යන ඒවා. අපට වාර්තා වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. නමුත් ඉහත කී ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ අප්‍රකට හමුවීමෙන් අනතුරුව අපට වාර්තා වෙනවා ඉන්දීය අගමැතිවරයා එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමේ සම්භාවිතාවක් තිබෙන බව. මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණෙන්නේ, ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා අප්‍රකටව පැමිණ, රනිල් වික්‍රමසිංහ මහතා එකඟ කරවාගත් අවබෝධතා ගිවිසුම් 10ක් අත්සන් තැබීමේ කටයුත්තට බවත් අපට වාර්තා වෙනවා.

අවබෝධතා ගිවිසුම් 10ක්!

දැනටමත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයට යෝජනා කරලා තිබෙනවා, බරපතළ සම්බන්ධතා(Connectivity) ගණනාවකට එළඹෙන ලෙස. එකක් තමයි ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපළවල්වල පාලනය ඉන්දියානු ආයතනයක් යටතට පත්කිරීම. මෙහිදී දැනට ගුවන් හමුදාව සතු ඉදිරියේදී ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත් කිරීමට ඉඩම් පවා වෙන්කර ඇති හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ, පලාලි ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාව සතු ගුවන්තොටුපළවල් 16ක පමණ පාලනය ඉන්දියානු සමාගමක් යටතට පත් කිරීම. අවබෝධතා ගිවිසුම් දහයෙන් එකක් මෙම කටයුත්ත ඉටු කරගැනීම වෙනුවෙනුයි සැකසෙන්නේ. අනෙක් අවබෝධතා ගිවිසුම අත්සන් තැබෙන්නේ මූල්‍ය ඒකාබද්ධකරණය සඳහායි. එමඟින් අපේක්ෂා කරන්නේ ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාරික මුදල් ඒකකයක් බවට පත්කිරීමයි.

රාම කෝවිල් 21ක්!

මේ අතර භූගෝලීය ඒකාබද්ධකරණය සඳහා වන අවබෝධතා ගිවිසුමක් ද තිබෙනවා. මීට අදාළ මූලික සාකච්ඡා සඳහා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ඉන්දියානු බලධාරීන් සමඟ සාකච්ඡා කොට තිබෙනවා. ඒ අනුව ‘රාම් සේතු පාලම’ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ද සිදු කෙරෙමින් තිබෙනවා. පාලම හැදුවොත් ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාවේ කොටසක් වන බවට චෝදනා කරමින් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව ඊට තම විරෝධය ලිඛිතව දන්වා තිබෙනවා. එපමණක් නොවෙයි, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි බල පද්ධති ඒකාබද්ධකරණයට අදාළ අවබෝධතා ගිවිසුමක් ද ඒ අතර වෙනවා. විදුලි බල ඇමති සුරංගනා කථා කීවාට, ටෙන්ඩර් කැඳවූවාට පසුව ‘අදානිගෙන්’ සුනිත්‍ය විදුලි බල ඒකකයක් මිලදී ගන්නවාට වඩා ඉතා අඩුවෙන් සුනිත්‍ය විදුලි බල ඒකකයක් මිලදී ගත හැකි බව තහවුරු වූවා. මේ විදුලි බල පද්ධති ඒකාබද්ධකරණය යටතේ ශ්‍රී ලංකාවේ විදුලි බල අතිරික්තය ඉන්දියාවට විකිණිය හැකි බව කීවත් අපි මේ යටතේ ඉන්දියාවෙන් අතිරික්ත විදුලි ඒකකයක් මිලදී ගන්නා මිලට, අපේ අතිරික්ත විදුලි ඒකකයක් ඉන්දියාවට විකිණීමට ලැබෙන්නෙත් නැහැ. නේපාලයේ සිදුව ඇති දෙයින් එය වටහාගත හැකියි. ඒ වගේම මෙහිදී තෙල් නළයක් එළීම මගින් දෙරට අතර ඉන්ධන ඒකාබද්ධකරණයට ද ගිවිසුම්ගත වීමට නියමිතයි. ඒ විතරක් ද? ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රේගු දෙක ඒකාබද්ධකරණයට ද පාර කපාගෙන තිබෙනවා. එමගින් අවසානයේ සිදුවන්නේ ඉන්දියාවේ නිෂ්පාදන, රේගු බද්දෙන් තොරව නිදහසේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පැමිණීමයි. ඊළඟ එක තමයි සංස්කෘතික ඒකාබද්ධකරණය. මේ යටතේ රාමායන පුරාවෘත්තයට අදාළ ස්ථාන 21ක ‘රාම කෝවිල්’ හදන්නත් දෙරට ගොඩබිමෙන් ඒකාබද්ධ කළාට පසුව ඉන්දියාවේ සිට බස් එකෙන් පැමිණ එම ස්ථාන 21 බලලා යන්නත් ඉන්දියානුවන්ට ඉඩකඩ හැදෙනවා.

රනිල් පාර්ලිමේන්තුව ‘බල්ලාට දාලා’

මීට සමගාමීව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ ලෙස බලපාන ආර්ථික පරිවර්තන පනතක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් සම්මත කර ගත්තාට විරෝධය දැක්වූයේ සර්වජන බලය නියෝජනය කරන කණ්ඩායම පමණයි. විපක්ෂයේ සෙසු පිරිස මීට විරුද්ධව හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ. මේ පනත් මගින් පාර්ලිමේන්තුව ‘බල්ලාට දාලා’ රාජ්‍ය මූල්‍ය බලය තමන් අතට ගත්තු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ අවබෝධතා ගිවිසුම් ද යොදාගෙන මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඉහත කී අවබෝධතා ගිවිසුම් 10 අතර තිබෙනවා ත්‍රිකුණාමලයේ සංවේදී ආර්ථික කලාපය ඉලක්ක කර ගත්තු ගිවිසුමක්. මේ රහසිගත එකඟතා අතර එට්කා ගිවිසුම ද තිබෙනවා. මේ සියල්ල කෙරෙහි අපි ඉතාමත් බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

‘නොනගත කාලය’

මේක නොනගත කාලයක්. කවුරුත් බලා ඉන්නේ ජනාධිපතිවරණය පිළිබඳවයි. ‘කවුරු දිනයි ද? කවුද අපේක්ෂකයා?’ ආදී මාතෘකා ජනතාව අතර තිබුණාට රනිල් වික්‍රමසිංහගේ මාතෘකාව ඒක නොවෙයි. එයාගේ මාතෘකාව ‘මේ අල්ලපනල්ලේ ඉතිරි ටිකටත් වැඩේ දෙන්නේ කොහොමද?’ කියන එකයි. එයා හිතන්නේ, ‘ඉන්දියාව ඉල්ලන දේ දීලා මම කොහොමද වතුකරේ ඡන්ද ටික, ටීඑන්ඒ ඡන්ද ටික ගන්නේ?’ කියලයි ‘ඉන්දියාවට නටවන්න පුළුවන් දේශපාලන කල්ලි – කණ්ඩායම්වල ඡන්ද ටික තමන්ට ගන්නේ කොහොමද?’ කියන එකයි රනිල් වික්‍රමසිංහ හිතන්නේ.

ජනාධිපතිවරණ සටනට වඩා බලගතු සටනක්!

මේ අවබෝධතා ගිවිසුම් දහය අත්සන් කළාට පසුව අපට ඉන් ගැලවෙන්න බැහැ. එදා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළාට පසුව ඊට විරුද්ධව පෙළපාලි ගියපු දේශපාලන පක්ෂ බලයට ආවත් ඒ කිසිම ආණ්ඩුවකට ඉන්දු – ලංකා ගිවිසුමෙන් ගැලවෙන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ‘මේ අවබෝධතා ගිවිසුම් දහය අත්සන් කිරීම වළක්වාලීම පිණිස මේ රටේ සියලු දේශපාලන ව්‍යාපාර, ඉතා පැහැදිලිව එක්සත්ව, එකමුතුව ක්‍රියා කළ යුතුයි’ කියන එක තමයි අපේ නම් පිළිගැනීම. ජනාධිපතිවරණ සටනට වඩා බලගතු සටනක් ඒ මගින් අප ඉදිරියේ නිර්මාණය වෙනවා.

ජනාධිපතිවරණය පිළිබඳ ‘චූන් පාන්’ කතා

මේ පිළිබඳව තවදුරටත් විමසිලිමත් වුවහොත් අපට පෙනෙනවා ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුම් ගණනාවක් අත්සන් තබා ඇති බව. ‘දකුණු ආසියාවේ නේටෝව’ ලෙස හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව සාමාජිකත්වය දරන QUAD සංවිධානය හරහා තමයි මෙවැනි ගිවිසුම්වලට එළඹ තිබෙන්නේ. උපායමාර්ගික අතින් ඉතා වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට මේ විදියට ගිවිසුම් දහයකින් අත පොවන්න ඉඩ දෙන්න පුළුවන් ද? එහෙම කරන්න ඉඩ දීලා ජනාධිපතිවරණය පිළිබඳ ‘චූන් පාන්’ කතා කියමින් ඉඳීම ද අප කළ යුත්තේ? මේ රටේ දෑහිතකාමී, ප්‍රගතිශීලී, වාම බලවේගවල එකමුතුවකින් හැදුණු සර්වජන බලය ඉතා තදින් විශ්වාස කරනවා, ‘මේ සියල්ලටම වඩා ප්‍රමුඛ මේ අනතුර. මේ අනතුර පරාජයට පත් කිරීම සඳහා කවර වෙනස්කම් තිබුණත් සියලු දේශපාලන ව්‍යාපාර එකමුතුව, එක්සත්ව කටයුතු කළ යුතුයි’ කියා. ඒ වගේම අපි මේ රටේ මහා සඟරුවනගෙන් දෙපා නමැද ඉල්ලා සිටිනවා, ‘කරුණාකර මේ අවදානම පුළුල්ව දකින්න. මේ වාතාවරණය පැරදවීම පිණිස පුරෝගාමීව කටයුතු කරන්න’ කියා.

සිකීමයේ ඉරණම අපටත්

මේක කිසිසේත්ම සුළු කොට තැකිය යුතු නැහැ. ඉන්දියාව මහා භාරතයක් හැදීම සඳහා 1932දී ‘සර්දාර් පනික්කාර් න්‍යාය’ රැගෙන ආවා. ‘තමන්ගේ අසල්වැසි සියලු රාජ්‍යයන් ගිවිසුම් මගින් ඈඳාගත යුතුයි’ කියලයි එමඟින් කියැවෙන්නේ. එසේ ඈඳාගත් රටක් පිළිබඳව හොඳම උදාහරණය තමයි සිකීමය. 1974දී සිකීමයේ පැවති මහ මැතිවරණයෙන් ඉන්දියාවේ නියෝජිතයා වූ ලෙන්ඩප් ඩෝර්ජි අන්ත පරාජයට පත්වුණා. දැන් බංග්ලාදේශයේ පැවැත්වෙන, පසුගියදා ශ්‍රී ලංකාවේ ගාලුමුවදොර පැවැති ආකාරයේ විරෝධතා මගින් එදා සිකීමයේ රජු බියගන්වලා නැවත මහ මැතිවරණයක් තියන තැනට රෝ සංවිධානය කටයුතු කළා. අවසානයේ ඒ මැතිවරණයෙන් ලෙන්ඩප් ඩෝර්ජි සිකීමයේ අගමැති ධුරයට පත්වුණා. ඔහු බලයට ඇවිත් ඉන්දියාව සමග ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. ටික කාලයකින් ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වූ සිකීමය ඉන්දියාවේ 22 වන ප්‍රාන්තය බවට පත්වුණා. ඒ 22 වන ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බවට පත්වූයේද ලෙන්ඩප් ඩෝර්ජිමයි. එක වෙලාවක සිකීමයේ පාර්ලිමේන්තුව යෝජනාවක් ගෙන එනවා, ‘ඉන්දියාවෙන් මිදිලා, චීනය සමඟ එකතුවෙන්න’. නමුත් ‘විදුලිය – ඉන්ධන’ ඒකාබද්ධ කර තිබූ නිසා ඒ යෝජනාව සමඟ සිකීමය අඳුරු වුණා; ඉහත කී පාර්ලිමේන්තු යෝජනාවත් අතුරුදහන් වුණා.

“මේ යකාව සත පහකට විශ්වාස කරන්න බැහැ”

ඒ නිසා අපි තේරුම්ගත යුතුයි, මේ අහිමි වෙමින් ඇත්තේ අපේ ස්වෛරීභාවය කියලා. මෙයා පිනට ජනාධිපති වුණු කෙනෙක්. එයාව ජනාධිපති කරපු පක්ෂයත් දැන් කියනවා,, ‘මෙයත් එක්ක නම් යන්න බැහැ. මෙයා චපල, කපටි, කියපු දේ නොකරන, අපව රවටපු කෙනෙක්’ කියලා. එහෙම කියමින් ‘නාහෙන් අඬන’ බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා අද කියනවා, ‘අපි වෙනම අපේක්ෂකයෙක් දානවා’ කියලා. වික්‍රමසිංහ බලයට ගෙනාපු, එයා ගෙනාපු හැම පාහර අණපනතකටම අත ඔසවපු අයත් අද කියනවා නම්, ‘මේ යකාව සත පහකට විශ්වාස කරන්න බැහැ. දෙන්න තියෙන ලොකුම දේ දීලත් මෙයා අපට පිටුපෑවා’ කියලා මෙයා මේ නොනගත කාලයේ ඉහත කී සියලු විනාශයන් මේ රටට සිදු නොකර සිටීවි ද? ඒ නිසා ‘සියලු වාදභේද පසෙක ලා, මේ අනතුරෙන් මේ රට මුදවා ගැනීම සඳහා එක්සත්ව – එකමුතුව පෙරට එන්න’ කියලා අපි සියලු දේශපාලන ව්‍යාපාරවලින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනකොටස්වලින් ඉල්ලා සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට සර්වජන බලය විධායක කමිටු සාමාජිකයෝ වන උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here