0
62

රනිල් වික්‍රමසිංහ මහතාට 92ක් එකතු නොවූ බවත්, සිදුවූයේ රනිල් සමග සිටි 40ක් ඉවත්වීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

අසමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය,

‘‘සමගි ජන සන්ධානය බිහි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරමින් පවතිනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ , පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ , බහුජන සංවිධාන , තනි පුද්ගලයන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කරලා සමගි ජන සන්ධානයට එකතු වීමට නියමිතව තිබෙනවා. මේ සියලු දෙනා සමගි ජන සන්ධානය සමඟ එකතු වන්නේ පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන්. ඒ වගේම සමගි ජන සන්ධානය පුලුල් ප්‍රතිපත්තිමය සන්ධානයක්. සමගි ජන සන්ධානය අගොස්තු මාසයේ 8 වැනිදා ආරම්භ කරනවා. අගොස්තු මාසයේ 15 වැනිදා නාම යෝජනා ලබාදීලා අගොස්තු 16 වැනිදා ආගමික වතාවත්වලට මුල් තැන ලබාදී ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා.

වසර 76 ක කාලය තුළ රටේ ජනතාව කටයුතු කළේ විධායක ජනාධිපතිවරු බිහිකරන්න. නමුත් මෙවර ජනතාව කටයුතු කළ යුත්තේ වැඩපිළිවෙළක් ජයග්‍රහනය කිරීමටයි. රට දිනවන ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරනවන වැඩපිළිවෙළක් ජයග්‍රහනය කරවීමට තමයි සමගි ජනබලවේගය ජනතාවගෙන් ජන වරමක් ඉල්ලන්නේ. සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ ජයග්‍රහනය කරවන්න නායකයෙකු සහ කණ්ඩායමක් සිටිය යුතුයි. ඒ සඳහා නායකත්වය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ කණ්ඩායම සුදානම්. සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ සාමූහික ප්‍රයත්නයක් විදිහට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා වසර ගණනාවක් සඳහන් කරන දේවල් සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ තුළ ඇතුළත් වෙනවා. සමගි ජනබලවේගය ඉදිරිපත් කරන රට ගොඩනගන වැඩපිළිවෙළ සකස් කිරීම ආරම්භ කළේ වසර තුනක පෙරයි. රටේ සෑම සංවර්ධන අංශයක් සහ සුබසාධන අංශයක් ගොඩනගැනීම සඳහා වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය සතුව තිබෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් රැක ගැනීම පිළිබඳව , ජාත්‍යන්තර වෙළදාම පිළිබඳව , දේශිය වෙළඳාම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කරලා තිබෙන්නේ. ඒ වගේම ජාතික ප්‍රතිපත්ති කොමිසන් සභාවක් ස්ථාපිත කරලා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා සියල්ල සැලසුම් කරලා තිබෙන්නේ. ඒ වගේම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී විශ්‍රාමිකයන් , ජ්‍යෙෂ්ඨ පුරවැසියන් , විශේෂ අවශ්‍යතා සහිත පිරිස් , ආන්තික කණ්ඩායම් , සියලුම ආගම් ජාතින් නියෝජනය කරන සියලුම දෙනාට සම්බන්ධයෙන් අවදානය යොමු කර තිබෙනවා.

සමගි ජනබලවේගය වසර 4 ක් වයස නව දේශපාලන ව්‍යාපාරයක්. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පිරිසක් සිටියත් සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයේ සමජාතීය නිඹුලෙක් නෙවෙයි. සමගි ජන බලවේගයේ ආර්ථික දර්ශනය , දේශපාලන දර්ශනය එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දර්ශනය , දේශපාලන දර්ශනය නෙවෙයි.

ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අභිලාශය රටේ සිටින ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන ව්‍යවස්ථාවක් සකස් කොට රටේ දිශානතිය වෙනස් කරන්න සහ රටට නව හැරවුම් ලක්ෂයක් ලබාදීම. ඒ දැවැන්ත ව්‍යාපාරයේ පිටස්තරයන් නොවී කොටස්කරුවන් බවට පත්වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. රටට ගොඩනැගීමට සමගි ජනබලවේගය හැර වෙනත් කිසිදු විපකල්ප බලවේගයක් මේ මොහොතේ රට තුළ නෑ. ඒ වගේම සමගි ජනබලවේගය ඉදිරිපත් කරන විකල්ප වැඩසටහන් වෙනත් වචන වලින් ඇතැම් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරමින් සිටිනවා.

ඒ වගෙම දේශපාලන ව්‍යාපාරයක් විදිහට සමගි ජනබලවේගය රට පුරා මේ වනවිට ශක්තිමත් වී සිටිනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ ජයග්‍රහනය නියත ජයග්‍රහනයක් බවට පත් වන්නේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. සමගි ජනබලවේගය අත්හැර කවුරුන් හෝ ගියොත් ඔහු හෝ ඇය දේශපාලන කුණුබක්කියට ද්‍රෝහීන් විදිහට එකතු වෙයි.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here