වහලෙන් ගෙට බහින පලපුරුදු හොරෙක් අල්ලයි.. ගෙවල් 20ක් බිදලා..

0
17

අම්බලන්ගොඩ, බළපිටිය, කන්දේගොඩ, වතුගෙදර, අහුන්ගල්ල ප්‍රදේශයන් භීතියට පත් කල අම්බලන්ගොඩ හා අහුන්ගල්ල පොලිස් වසම් තුල ගෙවල් බිදුම් 20 කට අධික ප්‍රමාණයක් සිදුකර රුපියල් ලක්ෂ අසූවකට (8,000,000/-) ආසන්න වටිනාකමකින් යුත් දේපල සොරකම් කිරීමකට අදාලව රුපියල් ලක්ෂ තුනක (3,00000) වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 11 ක්ද සමග සැකකරුවන් දෙදෙනෙක් අම්බලන්ගොඩ පොලීසිය (07) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක කුමාර මහතා වෙත (08) ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්ත, කන්දේගොඩ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි රාමනායක මුදියන්සේලාගේ චාමික දිල්ෂාන් (21) සහ සිංහපුර, වැලිකන්ද, පොලොන්නරුව ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ සාගර සදරුවන් (21) නැමැති දෙදෙනාය.

මෙයින් පළමු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5320 ක් හා දෙවන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6020 ක් අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයා ගෙන තිබේ. අම්බලන්ගොඩ, කන්දේගොඩ, කුරුදුවත්ත ප්‍රදේශයේ සැකකටයුතු අන්දමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් ඇදසිටි කලිසම් සාක්කුවල තිබි හෙරොයින් තොගය සොයාගෙන තිබේ.

පසුව සැකකරුවන් අම්බලන්ගොඩ පොලීසියට රැගෙන ගොස් කරන ලද විමර්ශණ වලදී සැකකරුවන් තදින් හෙරොයින් පානයටද ඇබ්බැහි වි ඇති බවට තොරතුරුද අනාවරණය කර ගෙන ඇත. සැකකරුවන් සන්තකයේ තිබූ නවීන ජංගම දුරකතනයක් හා හෙරොයින් ලබා ගැනීම සදහා මුදල් කොහෙන්ද? යන්න සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී ගෙවල් බිදීම් වලට අදාල තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා සමග තවත් සැකකරුවන් දෙදෙනෙක් ගෙවල් බිදුම් වලට සම්බන්ධ බවත් ඔවුන් දෙදෙනාද මේ වන විට හදුනාගෙන තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. ඔවුන් දෙදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම සැකකරුවන් අම්බලන්ගොඩ හා අහුන්ගල්ල පොලිස් වසම් තුල ගෙවල් 20 කට අධික ප්‍රමාණයක දේපල සොරකම් කර තිබෙන බවද ඒ නිසාම එම ප්‍රදේශ වල ජනතාව පසුගිය කාලයේ මහත් භීතියෙන් පසුව ඇති බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

රාත්‍රී කාලයේ නිවාස වලට වහලෙන් බැස හා දිවා කාලයේ නිවැසියන් නොමැති නිවාස වලට වහලෙන් බැස හා ජනෙක් ගලවා ඇතුළු වි මෙසේ දේපල සොරකම් කර තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. සැකකරුවන් මෙසේ නිවාස වල තිබූ මුදල්, රන් භාණ්ඩ, විදුලි උපකරණ, ජංගම දුරකතන හා යකඩ සොරකම් කර තිබෙන බවත් එයින් කොටසක් සොයා ගත් බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. රන් භාණ්ඩ රැසක් උකස් මධ්‍යස්ථාන වලට උකස් කර තිබෙන බවත් ඒවා සොයා ගැනීම සදහා තව දුරටත් විමර්ශණ ක්‍රියාත්මක කරන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම සොරකම් පසුගිය මාස 05 ක 06 ක පමණ කාලයක සිට කර තිබෙන බවට තොරතුරු අනාවරණය වූ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය. පොලොන්නරුවේ පදිංචි සැකකරුගේ ඥාතියෙක් අම්බලන්ගොඩ, කන්දේගොඩ ප්‍රදේශයේ ජීවත් වන බවත් ඔහු එම ඥාතියාගේ නිවසට පැමිණ අනෙක් සැකකරුවන් සමග එකතු වී හෙරොයින් පානයට ඇබ්බැහි වී තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. පසුව මොවුන් හෙරොයින් පානය සදහා මුදල් සොයා ගැනීමට ගෙවල් බිදුම් සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here