රජයේ සේවකයන්ට රනිල් වැඩිකළ වැටුප් ලබාදීම අර්බුදයක්

0
8

ජනාධිපතිවරණය ආසන්නයේදී ඉකුත් රජයේ කැබිනට් මණ්ඩලය විසින් ලබන වසරේ (2025) ජනවාරි මාසයේ සිට වැටුප් වැඩි කිරීමට තීරණය ගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පැවැසීය.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට ඉකුත් රජය සමයේදී පත්කළ උදය ආර්. සෙනෙවිරත්න විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාවට නැංවීමට එවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙන බැවින් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව විමසීමේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙලෙස වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙන් නිරීක්ෂණ කැඳවීමකින් තොරව බවද ඔහු කීවේය.

ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කරන බවට එවකට කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස බවත්, උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව එම වැටුප් ලබාදීමට හැකිද, ඊට අදාළ මුදල් තිබේද, ඊට මහා භාණ්ඩාගාරය එකඟද යන කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලය සොයා බැලීමක් කර නැති බවත් ඇමැතිවරයා පැවැසීය.

“මින් සිදුකර ඇත්තේ ජනතාව රැවටීමක්. අපි එහෙම දේවල් කිව්වෙත් නෑ’’ යැයිද ඔහු කීවේය.

මෙම වැටුප් වැඩි කිරීම ඉටු කිරීමට හැකිද යන කාරණය ඊළඟ අයවැයේදී සොයා බලා අලුතින් තීරණයක් ගැනීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මින් පැවසෙන්නේ ජනවාරි සිට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොවන බව නේදැයි ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, “නෑ කියන්නෙත් නෑ. ඒක මුදල් තත්ත්වය බලලා තමයි තීරණය කරන්නේ. මෙම වැටුප් වැඩිවීම අයවැයට ඉදිරිපත් කළ යුතුයි. එය ලබාදිය හැකිදැයි සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිරීක්ෂණ ලබාගත යුතුයි. ඒ මත තමයි වැටුප් වැඩි කරනවාද, නැතිද යන තීන්දුව ගන්න සිදුවන්නේ’’ යැයිද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here