මව්පියන් පිරිසකගෙන් පහේ ශිෂ්‍යත්වය යළි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

0
4

පසුගිය සැප්තැම්බර් 15 වන දා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ කිරීමට පෙර පිටවීම නිසා එකී ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 27 දෙනෙකු හා ඔවුන්ගේ මව්පිය භාරකරුවෝ 27 දෙනෙකු ඊයේ (ඔක්. 15) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එකී ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබූ ප්‍රශ්න තුනක් පමණක් පිටව ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළත් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් පිටව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ත් පිට වූයේ යැයි බලධාරීන් පවසන ප්‍රශ්න තුනට සියලු ම සිසු සිසුවියන්ට සමාන්තර ලකුණු ලබා දීමට හා නැවත එම විභාගය පවත්වන ලෙසට තමන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම යුක්තිසහගත නොවන බව ත් පෙත්සම්කරුවන් සමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා නියෝජ්‍ය විභාග කොමසාරිස්වරුන් තිදෙනෙකු, අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා එහි අධ්‍යක්ෂවරයා, වැඩ බලන පොලිස්පතිවරයා හා කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා මෙන් ම එම ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හා ගුරුවරයා මෙන් ම නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර ඇත.

එකී පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දී ප්‍රශ්න පත්‍ර අධිකරණයට කැඳවා පෙත්සම් විභාගය පවත්වන ලෙසත් තමන් ඇතුළු පෙත්සම්කරුවන්ට රුපියල් මිලියන 10ක වන්දි හා නඩු ගාස්තු ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කරන ලෙසත් පෙත්සම්කරුවන් එමගින් වැඩිදුරට ත් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here