බංගලාදේශය ගිනි ගනිද්දී නරේන්ද්‍ර මෝදී ඉන්දියන් තරුණයන් සඳහා ඩොලර් බිලියන 24ක් වෙන් කරයි!

0
47

මේ වන විට රැකියා සඳහා කෝටා ප්‍රශ්ණයක් මත බංගලාදේශයේ ඇති වූ තරුණ නැගිටීම තාවකාලිකව නැවතී තිබුණත් එමගින් කලාපය තුල ඇති කරන ලද බලපෑම කෙතරම් ද යත් ඉන්දියාවේ මොර්දී රජය හදිසියේ එරට මිලියන 40 කට වැඩි තරුණ ඉන්දියානුවන් සඳහා “රැකියා, පුහුණුව සහ අනෙකුත් අවස්ථා සඳහා පහසුකම් සැලසීම” ඉලක්ක කල වසර පහක් පුරා සැලසුම් කල ව්‍යාපෘති 5ක් සඳහා ඩොලර් බිලියන 24ක් වෙන්කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. කෙසේවෙතත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනුයේ අගමැති නරේන්ද්‍ර මෝදි මුහුණ දුන් මැතිවරන පසුබෑමකින් පසු එරට පවතින ආර්ථික අසමානතාවය අවසන් කිරීම සඳහා මීළඟ අයවැයෙන් රැකියා සහ පුහුණුව සඳහා මෙම මුදල් වෙන් කර ඇති බවයි.

බංගලාදේශයේ වයස 18-27 තරුණ ප්‍රජාවෙන් මිලියන 18 විරැකියාවෙන් පෙලෙන අතර එරට රැකියා අවස්ථා ලබා දීමේදී 1971 නිදහස් අරගලයේ වීරයන්ගේ දරුවන්ට 50%ක රජයේ රැකියා ලබා දීමේ කෝටාව අවසන් කරන ලෙස ඉල්ලා එරට තරුණ හා ශිෂ්‍ය ප්‍රජාව විදි බැස අරගල කිරීම නිසා පොලිස් වෙඩි පහරින් පුද්ගලයින් 174ක් මිය ගොස් 2500 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබිණි. පසුගිය ජුලි මස පළමුවැනිදා බංගලාදේශයේ ආරම්හ වූ තරුණ-ශිෂ්‍ය අරගලයට සහය පිණිස ඉන්දියන් සිසුන් ද එයට සහය පිණිස උද්ඝෝෂණ සිදු කල බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකාවේ 2022 දී හටගත් අරගල සමයේද ඉන්දියානු සිසුන් ලාංකීය අරගලයට සහය දක්වා මෙවැනිම සටන් ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වීම නිසා ඉන්දියන් රජය දෙදරුම් කා තිබිණි.

මේ වන විට ලොව 5 වැනි ආර්ථික බලවතා ලෙස ඉන්දියාව ආකර්ෂණීය ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමින් සිටි. 2023 දී රටේ වාර්ෂික ආර්ථික වර්ධනය 8.2% දක්වා ළඟා වූ අතර එය පෙර වසරේ දී 7% ක් ලෙස පෙන්නුම් කරනු ලැබුවේය. IMF පුරෝකථනය අනුව 2024 සඳහා ඉන්දියාව 6.8% ක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනුයේ ආර්ථික අවපාතයක ගිලී සිටින ලෝකයේ එය ඉහළම අගයක් ලෙස පෙන්වන රාජ්‍යයක් බවට පිළිගනිමිනි. මෙම ආර්ථික වර්ධනය බොහෝ දුරට සාර්ථක වීමට හේතු වී ඇත්තේ යටිතල පහසුකම් සඳහා, විශේෂයෙන්ම මාර්ග සහ වරායන්හි මෝඩි රජය විසින් සිදු කරන ලද දැවැන්ත ආයෝජනයන් ය. 2023 අප්‍රේල් මාසයේදී උද්ධමනය 5% ට වඩා අඩු කරලීමට මෝඩි රජය සමත් වී ඇත. ඉන්දියානු කොටස් වෙළෙඳපොළ ඩොලර් ට්‍රිලියන 4.3 ක ප්‍රාග්ධනීකරණයක් සහිත ලොව සිව්වන විශාලතම කොටස් වෙළෙඳපොළ බවට මේ වන විට ඉන්දියාව පත්ව ඇත. සමාජ හා දේශපාලන අභියෝග මධ්‍යයේ වුවද සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක් මෙම දර්ශක තුල පෙන්නුම් කරයි. ආර්ථික විද්‍යාඥයන්ට අනුව 2050 වන විට ඉන්දියාව දෙවන විශාලතම ආර්ථිකය බවට පත්විය හැකිය.

විශේෂයෙන් තාක්ෂණ අංශය තුල ඉන්දියාව ලබා ගෙන ඇති සාර්ථකත්වය ද වඩා ඉහල අගයක් පෙන්නුම් කරයි. ලොව සුප්‍රකට බහුජාතික සමාගම් කිහිපයක් චීනය අතහැර භාරතයේ ස්ථාපිත කරලීමට සමත් වී ඇත්තේ චීන-ඇමරිකානු වෙළඳ ගැටුම ඉන්දියාව තම වාසියට යොදා ගනිමිනි. Apple ඇතුළු බොහෝ බටහිර තාක්ෂණික සමාගම් චීනයේ සිට ඉන්දියාවට ඔවුන්ගේ නිෂ්පාදන කිහිපයක් ගෙන ගොස් ඇත. 2022 දී, Apple විසින් iPhone නිෂ්පාදනය ඉන්දියාවට මාරු කරනු ලැබූ අතර, 2021 දී 1% සිට 2023 දී 7% දක්වා තම ගෝලීය නිෂ්පාදනයේ ප්‍රතිශතය එරට තුල වැඩි කර ඇත. මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය 2025 දී 25% දක්වා ළඟා කර ගැනීමට අපේක්ෂා කෙරේ.

විශේෂයෙන් සේවා, ඇඟලුම්, ඖෂධ හා පරිගණක යන ක්‍ෂේත්‍ර විසින් වසරකට 10-20%ක් ලෙස වර්ධනය වන ආර්ථික ලාභයන් රටට ලබා දේ. 2023 වසරේදී පමණක් කෘතීම බුද්ධිමය කේෂ්ත්‍රය සඳහා ඩොලර් බිලියන 1,2ක් විමධ්‍යගත අය වැයෙන් වෙන් කරන ලද අතර එයින් ඩොලර් බිලියන 17ක අමතර ආදායමක් 2025 දී ඉපයීමට ද අපේක්ෂා කෙරේ. පරිගණක හා නව තාක්ෂණ කේෂ්ත්‍රය ඉතා වේගයෙන් එරට තුල වර්ධනය වන අතර මුල්‍ය අරමුදල්(IMF) වාර්තා වලට අනුව එය වසරකට 30-35% අගයක පවතී. එය දල ජාතික නිෂ්පාදනයෙන් 7.5%-10%ආදායමක් එනම් ඩොලර් බිලියන 181ක් රටට වසරකදී උපයා දේ.

ඉන්දියාව වර්තමානය වන විට එක්සත් ජනපදය, චීනය, බංග්ලාදේශය, අප්‍රිකාවේ රටවල් රාශියක් සමගත්, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, බෙල්ජියම සහ ජර්මනිය වැනි රටවල් සමඟ වරප්‍රසාද ලත් ආර්ථික සබඳතා භුක්ති විඳියි. මෙම හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය වූ ආයෝජන අවස්ථා එරටට ලබා දෙයි. මීට අමතරව, ඉන්දියාව සිය ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා රුසියානු-යුක්රේන ගැටුමෙන් බටහිර විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ප්‍රයෝජන යට ගනිමින් ලෝක වෙළඳ පල තුල තෙල් බෙදා හැරීමද සිදු කර ඩොලර් බිලියන 37ක් 2023 වසරේදී උපයා ගැනීමට සමත් වී ඇත.

කෘෂිකර්මාන්තය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 15-18% ක් නියෝජනය කරන අතර එය ජනගහනයෙන් 40% කට රැකියා අවස්ථා ලබා දී ඇත. එහෙත් ජලය හිඟවීම, නියඟ, ණය යන අර්බුධ හේතුවෙන් ඉන්දියාවේ ගොවි ප්‍රජාව සිටිනුයේ අගමැති මෝඩි ගේ රජය සමග උරණවය. කෙසේ වෙතත් ජාත්‍යන්තර කොටස් වෙළඳපල දර්ශක අනුව ඉන්දියානු කොටස් වෙළඳ පල ආයෝජකයෙකුට වසර දහයකට පසුව +1000% ක කොටස් වෙළඳපල කාර්ය සාධනයක් ලබා ගත හැකි අතර එය එක්සත් ජනපදයට වඩා හොඳ අගයක් ලෙස සැලකේ.

ආර්ථික ක්‍ෂේත්‍රයේ මෙවැනි සාර්ථකත්වයන් උකහා ගත්තද ඉන්දියාව තව දුරටත් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් සිටි. එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 දී ඩොලර් 2,410.9 හි පහළ මට්ටමක පවතී, එය G20 රටවල් අතර අඩුම අගයයි. එය අසල් වැසි නේපාලය අගයට සමාන වේ. මානව සංවර්ධන දර්ශකයට අනුව ද ඉන්දියාව සිටිනුයේ ලෝකයේ 134 වැනි ස්ථානයේ වේ. ඉන්දියාව ලෝකයේ වඩාත්ම අසමානත්වයෙන් පෙලෙන රටවලින් එකකි. ජනගහනයෙන් ධනවතුන් 1% විසින් මුළු ජාතික ආදායමෙන් 20%කට වඩා භුක්ති විඳින අතර ජනගහනයෙන් දුප්පත්ම 50% එයින් ප්‍රති ලාභ ලබා ගනුයේ 13%ක් පමණි. දරිද්‍රතාවය සහ තරුණ විරැකියාව සදාකාලික ගැටළු බවට පත් වී ඇත. ලෝක කම්කරු සංවිධාන(ILO) මුලාශ්‍ර වලට අනුව තරුණ උපාධිධාරින්ගෙන් 30%ක් විරැකියාවෙන් පෙලේ. වයස අවුරුදු 20-24 අතර තරුණ ප්‍රජාවෙන් 45%ක් රැකියා අවස්ථා හිමි වී නැත. රටේ ජනගහනයෙන් මිලියන 600ක් අන්ත දුගී භාවයෙන් පෙලේ. ලෝක IMF ආර්ථික මුලාශ්‍ර වලට අනුව එරට මධ්‍යම පංතිය කිසිදු ධනයක් හිමි පංතියක් නොවේ .

ඒ අතර රටේ ගොවි ප්‍රජාවේ 85% කට හිමි වී ඇත්තේ හෙක්ටයාර දෙකකටත් වඩා අඩු ඉඩම් හිමි කමක් වේ. තවද 2015-2016 කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමීක්ෂණයකට අනුව හෙක්ටයාර 10කට වැඩි ප්‍රමාණයක් හිමිව ඇත්තේ ගොවීන් අතරින් 1%කට අඩු පිරිසකට වේ. දේශගුණික විපර්යාසවලට සම්බන්ධ ජල හිඟය, ගංවතුර සහ අවිනිශ්චිත කාලගුණික තත්ත්වයන් මෙන්ම ගොවි ණය ද ගොවීන්ට විශාල හානියක් සිදු කරයි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව 1990 සිට ඔවුන්ගෙන් 300,000 කට වඩා සියදිවි නසාගෙන ඇති අතර බොහෝ ගොවීන් නිරන්තර මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දේ.එසේම දේශීය පරිභෝජනය උත්තේජනය කළ හැකි මධ්‍යම පන්තියක් බිහිවීමට ආර්ථික වර්ධනය තවමත් ඉඩ දී නැත. ඒ අනුව ලෝක ආර්ථික දර්ශන පෙන්වන මෝඩි පාලනයේ අතිසාර්ථකත්වය එතරම්ම සොඳුරු නැත.

පසුගිය මැතිවරණයේදී මෙම ආර්ථික දර්ශක තමන් යටතට ගත් මාධ්‍ය ඔස්සේ මෝඩි පාලනයේ සාර්ථකත්වය පෙන්වමින් ප්‍රචාරක ජාලයක් BJP පක්ෂය විසින් සිදු කල ද අප්‍රියෙල් මාසයේ පැවත් වූ මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුව තුල බහුතරය දිනා ගැනීමට අසමත් විණි. ඒ අනුව තමන් ලබා ගත් සරල ජයග්‍රහණය තුල සුළුතර ආණ්ඩුවක් බිහි කලද එය පවත්වා ගෙන යෑමේ අසීරු අභියෝගයකට BJP පාලනය මේ වන විට මුහුණ දෙමින් සිටි. කලාපයේ රටවල සිදුවමින් පවතින තරුණ-සිසු නැගිටීම් ඉන්දියාව තුලට පැමිණීමේ අවධානම පිලිබඳ වද එරට ආරක්ෂක අංශ සැලකිලි මත් වෙමින් සිටින බවද වාර්තා වේ.

මෙම තත්වය හමුවේ ඉන්දීය මුදල් අමාත්‍යනී නිර්මලා සීතා රාමන් සිය වාර්ෂික අයවැය ඉදිරිපත් කරමින් ඊයේ 23 වනදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ රටේ ද්‍රවිද්‍රතාවය හා අසමානත්වය අවසන් කරලීම සඳහා හදිසි ක්‍රියා මාර්ග රාශියක් ගැනීමට රජය තීරනය කර ඇති බවයි. ඒ අනුව රටේ මිලියන 40 කට වැඩි තරුණ ඉන්දියානුවන් සඳහා “රැකියා, පුහුණුව සහ අනෙකුත් අවස්ථා සඳහා පහසුකම් සැලසීම” ඉලක්ක කරගත් වැඩසටහන් පහක් සඳහා ඩොලර් බිලියන 24ක් ද රටේ ග්‍රාමීය ප්‍රදේශ වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 32ක් ද වෙන් කරනු ලබන බවයි.

“ගෝලීය ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා හොඳින් ක්‍රියාත්මක වුවද, එය තවමත් දේශපාලන අවිනිශ්චිතතාවයෙන් පීඩා විඳිමින් සිටී,” මෙම අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් නිර්මලා සීතාරාමන් මහත්මිය පවසා සිටියාය. ඒ අනුව මෙම සන්දර්භය තුළ, ඉන්දියාවේ ආර්ථික වර්ධනය විශේෂිතව ලොව පුරා කතා බහට ලක් වී ඇති බවත් එය ඉදිරි වසරවලදී එම රිද්මය තුලම තවදුරටත් පවතිනු ඇති බවට තම විශ්වාසය පල කර සිටියාය.

මෙම අයවැය යෝජනාව මගින් රටේ දකුණේ ආන්ද්‍රා ප්‍රදේශ් හි නව ප්‍රාන්ත අගනුවරක් සඳහා “විශේෂ මූල්‍ය ආධාර” සැපයීමටද යෝජනාවක් ලෙස ඇතුළත් වී ඇත. සභාගය තුළ සිටින ඔහුගේ සගයන් විසින් ද අගමැති මෝඩිට දැඩි පීඩනයක් එල්ල කරනු ලැබ ඇති බවට එය හොඳ සාක්‍ෂියකි. විශේෂයෙන් ජනතා දාල් යුනයිටඩ් (JDU) සහ තෙළිඟු දේසම් පක්ෂය (TDP) විසින්, බිහාර් සහ අන්ද්‍රා ප්‍රදේශ් හි මෙම ප්‍රාදේශීය පක්ෂ දෙක පසුගිය මැතිවරණයේදී ලෝක් සභාවේ ආසන 12 සහ 16 දිනා ගැනීම හේතුවෙන් අගමැති මෝඩිට පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වා ගැනීමට ඔවුන්ගේ සහය අත්‍යවශ්‍ය වේ.

මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් විසින් ඉදිරිපත් කරන ලද අයවැයට අනුව, ඉන්දියාවේ අයවැය හිඟය වත්මන් මූල්‍ය වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 4.9% දක්වා අඩු කිරීමට අපේක්ෂා කලද එය පෙබරවාරි මාසයේ අයවැය අතුරු කාලසීමාව තුළ පුරෝකථනය කළ 5.1% ටත් වඩා වැඩිය. එහෙත් 2021 දී අයවැය හිඟය 10%(GDP) ක් ලෙස පැවතිණි. ණය ප්‍රතිශතය 89-6%(GDP) ක් ලෙස දැක්වේ.

ඒ අනුව රටේ අන්ත ද්‍රවිද්‍රතාවයෙන් පෙලෙන 50% බහුතරයක් ජනතාව විසින් පීඩා විදින අධ්‍යාපන, ඉඩම්, නිවාස හා සෞඛ්‍ය ගැටළු විසඳීමත් තමන්ට සහයෝගය දුන් ජනගහනයෙන් 10%ක් වන පොහොසතුන් සතුටු කිරීමත් ඒ සමගම සභාග ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් තම “ජාතික වාදී මහා භාරත රාජ්‍යය” බිහි කර ගැනීම සාක්ෂාත් කර ගැනීමත් අගමැති මෝඩිගේ තුන්වෙනි වාරය තුළ ඇති සැබෑ අභියෝගයන් බව දේශපාලන විචාරකයෝ මේ අතර පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here