පළාත් පාලන ඡන්දේ ලබන වසරේ මුල

0
8

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ඊළඟ වසරේ (2025) ආරම්භයේදීම පළාත් පාලන මැතිවරණය පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

ඊට මුදල් වෙන් කිරීමට සිදුවන්නේ රජය ඉදිරිපත් කරන අය වැයෙන් බවත්, ඒ සඳහා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගය අනුව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී පවත්වන බවත් ඔහු කීවේය.

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාදී තිබෙන නාමයෝජනා වෙනස් කිරීමට දැනට තිබෙන පළාත් පාලන පනත සංශෝධනය කළයුතු බවද, නව පාර්ලිමේන්තුව පත්වූවාට පසුව දේශපාලන පක්ෂවල එකඟතාව මත පළාත් පාලන පනත සංශෝධනයට අදාළ යෝජනාවක් ගෙනැවිත් ඒ ඔස්සේ කටයුතු කිරීමට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාරදුන් බොහෝ අපේක්ෂකයන් මේ වනවිට විදෙස්ගතව ඇති අතර, සමහරු මියගොස් සහ ඇතැමුන් පක්ෂ මාරුකර ඇති බැවින් වඩා සාධාරණ ක්‍රමයකට යා යුතු බවද හෙතෙම පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here