දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැන්ඩෝරා පේපර්ස් අවුස්සයි

0
13

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපයූ බව කියන පැන්ඩෝරා ලියවිලිවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් හා එම ලේඛනය තුළ චෝදනා එල්ල කර ඇති මෙරට පුරවැසියන් හා දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී විමර්ශන සිදුකරන බව ද ඔහු සඳහන් කළේ ය.

නව රජය යට‌‌තේ අනිවාර්යයෙන් ම මෙම පරීක්ෂණ කටයුතු ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

මේ අතර, පැන්ඩෝරා ප‍ත්‍රිකාවල නම් සඳහන් බදු පැහැර හරින ලද ශ්‍රී ලාංකේය සමාගම් සහ පුද්ගලයන් සම්බන්ධව විශේෂ විමර්ශනයක් කිරීමට රජය අණ ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මේ පිළිබඳ ‘මව්බිම’ සිදුකළ විමසීමකදී පැවසීය.

එම විමර්ශනය මේ වන විට ආරම්භ කර ඇති බව ත් එය තවමත් පර්යේෂණ මට්ටමේ ඇති බව ත් ඇය කීවා ය.

ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතු (ICIJ) සිදුකළ විශේෂ අනාවරණයට අනුව බදු පැහැර හැරීම් හා වංචා මූල්‍ය වාර්තා මිලියන 11.9ක් එම පැන්ඩෝරා ලේඛන තුළ අඩංගු වන බවට හෙළිදරව් කර තිබේ.

බදු පැහැර හැරීම් සහ මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද ඇතුළත් විය.

පසුගිය 2021 ඔක්තෝබර් 3 වන දා ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව මෙම ‘පැන්ඩෝරා පත්‍රිකා’ හෙළිදරව්ව කිරීම සිදු කළහ.

රටවල් 117ක මාධ්‍යවේදීන් 600ක් එම විමර්ශනය සඳහා එකතු වී තිබිණි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශයට පත්කරන ලද පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එහි ‌ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් 2021 ඔක්තෝබර් 13 වන දා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව, පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම්වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැර හැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.

අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බැඳී සිටින්නේ යැයි ද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වැඩිදුරට ත් සඳහන් කර තිබිණි.

  • මිතුන් ජයවර්ධන, සචිත්‍ර පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here