දේශබන්දු එලවීමෙන් පාතාලය වැඩිම සතුටින්.. විපක්‍ෂයෙන්ද අතහිත..

0
14

විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

විපක්ෂය යුක්තිය මෙහෙයුමට දැඩි ලෙස විරුද්ධ වූ බව පෙන්වා දුන් ඇමතිවරයා විපක්ෂය පොලිස්පතිවරයා ඉවත්කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා බවද අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව විපක්ෂනායකවරයා සහ මැති ඇමතිවරු කීපදෙනෙකු පල කල අදහස් සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇමතිවරයා මේ බව කීවේය.

විපක්ෂය වතු කම්කරු පඩි වැඩිවීම ගැන කතා නොකර පොලිස්පති ඉවත්කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලි වන්නේ යැයිද ඇමතිවරයා කීවේය.

මෙහිදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හා ඊට අදාල තත්ත්වය පිලිබදව මතු වූ සංවාදය මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ව්‍යවස්ථාදායකය නිර්මාණය කළේ විධායකයේ බලතල සීමා කරන්න. මේ සංචරණ තුලන තුළ මේ වගේ මානව අයිතිවාසිකම් ඉල්ලීමක් හරහා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් එවනකකොට ඒක අනුගමනය කරන්නට ඕන. ඒක අනුගමනය කරන්නේ නැතුව ඒකට එක එක අර්ථකථන ලබාදීලා. පුවත්පත්වල දාලා තියෙනවා. IGP කෙනෙක් නෑ. IGP කෙනෙක් නැතුව කොහොමද ජනාධීපතිවරණය තියන්නේ කියලා සමහරු අහනවා. මම මේවා හැන්සාඩ්ගත කරනවා. අපිට ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නම ඒක තැන තැන ප්‍රශ්න කරන්න බෑ. ඒක අධිකරණයට අපහාස කිරීමක්. මම පැහැදිලිව කියන්න ඕන ජනාධිපතිවරයයි, කැබිනට් එකයි ශ්‍රෙෂ්ඨාධිකරණයේ අණසක ක්‍රියාත්මක කරන්න බැදිලා ඉන්නවද කියන්නකෝ ඔබතුමා.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වන්නේ කාගෙන්ද අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ජනාධිපති විසින් පත්කරනු ලබන එක් මන්ත්‍රීවරයෙක්. පහත සදහන් පරිදී නාමයෝජනා කරනු ලබන ජනාධිපතිවිසින් පත්කරනු ලබන තැනැත්තන් 5 දෙනෙක්. ඔක්කම 10 ව්‍යවස්ථා දායක සභාවේ සංයුතිය. ව්‍යවස්ථාදායක සභාවට විධායකයේ කොටසක්. කැබිනට් එකේ සාකච්ඡා කරලා තීන්දු කරන්න බැහැ. පත්කරපු කෙනෙක් තහනම් කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් යටතේ තියෙන අධිකරණ බලයක්. ඒක ගැන අපි විවාද කරන්න යන්නේ නැහැ. ඒ නියෝගය දුන්නට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද. දැන් කතානායකතුමා නැහැ. කතානායකතුමා ව්‍යවස්ථාදායක සභවේ ප්‍රධානියා. එතුමා ආවම ඒ ප්‍රශ්නය අපිට යොමු කරන්න පුළුවන්. ව්‍යවස්ථා දායක සභාව රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අපට තීන්දුවක් ගන්න පුළුවන්. මගේ මතය මේක ව්‍යවස්ථාදායක සභාවට නැවත යොමු විය යුතුයි.

මහනුවර දිස්ත්‍රීක් පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (ස.ජ.බ)

ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක්. පසුගිය කාලයේ අපි යම් මතවාද ඇතිවනවිට ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා ව්‍යාවස්ථාදායක සභාව විධායකයේ කොටසක් කියලා. 19 ව්‍යවස්ථා සංශෝධනයෙයි 21 ව්‍යවස්ථා සංශෝධනයෙයි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගේන්න පුළුවන් විධායකයට විරුද්ධව. විධායකය යම් පියවරක් ගන්නවා නම් එයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගේන්න අයිතිය තියෙනවා. දැන් මේ පොලිස්පති පත්කිරීම සිදුකළේ ජනාධිපතිතුමා. එතකොට 19 යටතේත් 21 යටතේත් විධායක ක්‍රියාවලියට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගේන්න පුළුවන්. ඒක තමයි ඊයේ වුණේ. අධිකරණය තීන්දුවක් දීල තියනවා ආණ්ඩුවට කල් මරන්න බැහැ. රජය ඊයේ කැබිනට් මණ්ඩලයේ මේ පිළිබදව පැය 3 සාකච්ඡා කළා කියලා පුවත්පත් වල තිබ්බා. මේ නඩු තීන්දුව හිතා මතා ක්‍රියාත්මක නොකර මේක ඇදගෙන යන්න හැදුවොත් මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට අපහාස කිරීමක් සිදු කරනවා. නඩු තීන්දුවේ කියනවා නීතිපතිතුමාටයි කතානායකතුමාටයි විරුද්ධව පරීක්ෂණයක් කරනවා කියලා ලැජ්ජ නැද්ද.

ජී.එල්. පීරිස් මහතා (පා.ම)

බොහොම නිවැරදිව සභානායකවරයා ඊයෙ කීව මේක කැබිනට් මණ්ඩලයට අදාල වෙන්නෙ නෑ කියලා. ඒක සියයට සියක් නිවැරදියි. දැන් කොහොමද ප්‍රශ්නයක් මතුවන්නේ මේක ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. මම එකග වෙන්නෙ නෑ නැවතත් ව්‍යවස්ථාදායක සභාව කැදවලා මේක ව්‍යවස්ථාදායක සභාව සාකච්ඡා කිරීම. මේක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. ඒ නියෝගය අනුව ඊයෙ දිනයෙන් පස්සෙ පොලිස්පතිතුමාට නිල වශයෙන් වැඩ කරන්න බෑ. කරනවනම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්. ඒකෙ පැහැදිලිව සදහන් කරනවා වැඩ බලන පොලිස්පතිවරයෙක් පිළිබදව. ඒක ජනාධිපතිවරයාගේ කාර්යයක්. ව්‍යවස්ථා සභාවේ වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට කිසිම කාර්යභාරයක් නෑ.

කුරුණෑගල දිස්ත්‍රීක් පා.ම දයාසිරි ජයසේකර මහතා (ශ්‍රී.පො.පෙ)

නීතිපතිතුමාගේ වැඩබලන පත්කිරීම කවුද කලේ. රටේ ජනාධිපතිතුමා. ඇයි පොලිස්පතිතුමාගේ වැඩ බලන එක එතුමාට පත් කරන්න බැරි. කවුද කියන්නෙ බැහැ කියලා. මීට කළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැඩ තහනම් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. ඒකට කතානායකතුමා මුකුත් කළේත් නැහැ. ආණඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මුකුත් කළේත් නැහැ. හැබැයි දැන් මේ ක්‍රියාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීන්දුව සහ පොලිස්පතිතුමාගේ කරුණු සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් අරන් තියෙනවා. කතානායකතුමා මෙච්චර කාලයක් සිටියනම් සද්ද නැතුව තමන්ගේ බලය නතර කරපු වෙලාවේ ඒකම තමයි දැනුත් තමුන්නාන්සේලාට කරන්න වෙන්නෙ. කලින් තීන්දුව හරියට ක්‍රියාත්මක කළා නම් අද මේක කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්න පිළි අරගෙන වැඩ කරන්න. වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කරන්න ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා. වැඩබලන නීතිපතිවරයෙක් පත්කරන්න පුළුවන්නම් වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කරන්න බැරි ඇයි.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා

අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරනවා. කැබිනට් එකෙ සාකච්ඡා උනේ නෑ ඒ සම්බන්ධයෙන්. මොකද කැබිනට් එක තිබුණේ විනාඩි 45 යි. කැබිනට් එකට අයිති දේකුත් නෙවේ මේක. ව්‍යවස්ථාදායකයේ විධායකයේ කොටසක්. දැන් තහනම් නියෝගයක් දීලා තියෙනවනම් කථානායකතුමත් ආවම ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනීවි.

ප්‍රේමනාත් සී දොලවත්ත මහතා (පා.ම)

මේ සභාව තිබෙන්නේ අධිකරණ පරිවර්තන පනත ගේන්න. දැන් මේ කාරණය ගරු අධිකරණයේ තියෙන්නේ. ඇයි මේ සභාවේ කාලය නාස්ති කරන්නේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

මෙතන ජනාධිපතිතුමත්, කැබිනට් මණ්ඩලයත්, රජයත් අධිකරණය අපහසුතාවට පත්කරන විදිහට කටයුතු කරනවා කියලා මතයක් හදන්න උත්සාහ කරනවා. අපි පැහැදිළිව කියන්න ඕන ජනාධිපතිතුමා තමයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ල අධිකරණය ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නොවෙයි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එතන එහාට කතාකරන්න දෙයක් නැහැ. මේ කතාව එච්චරයි.

දෙවන කාරණාව ස්ටේට් ඕඩර්ස් තුනක් ගෙනල්ල තිබුණා. රජය මැදිහත් වුණානම් මැදිහත් වෙලා නවත්තන්න තිබුණා. එකක් පළාත් පාලන පත්වීම් සම්බන්ධවත්, වතු කම්කරුවන්ගේ පඩි සම්බන්ධවත් ස්ටේට් ඕඩර්ස් දෙකක් දීලා තියෙනවා.

හැබැයි දැන් උදේ වරුවම අපි කටයුතු කරන්නේ පොලිස්පතිගේ එක. මේක මීට පෙරත් මම කිව්වා විපක්ෂය හැමදාම මේ පොලිස්පතිවරයා යුක්තිය වැඩසටහන කරනකොට මේකට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තොෂ වුණේ පාතාලයේ අය. මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය. ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දුව. නැතිනම් අනිත් දේවල් ගැනත් කතා කරන්න ඕනෙනේ. වතු කම්කරුවන්ගේ පඩි ගැනත් කතා කරන්න ඕනේනේ. ඒ නිසා වැරදි තැනකට මේ රට ගෙනියන්න එපා කියලා මම කියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here