දැවැන්ත කප්පාදුවකට සූදානම්!

0
24

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතළ කප්පාදු කිරීම් රැසකට ආණ්ඩුව මුල පුරා ඇති අතර මූලික අධ්‍යාපන අවශ්‍යතාව සඳහා වැය කෙරෙන ප්‍රතිපාදනය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බරපතළ ලෙස කප්පාදුවක් ඇති බව බොහෝ දෙනාගේ අවධානයට යොමු වී නැත.

මේ අතර, පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සම්බන්ධ තීරණ කඩිමුඩියේ සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටී. මේ පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය විශ්ලේෂණාත්මක සටහනක් තබා ඇත. එය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?
“අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි වඩාත් බලවත් ම අවිය යි” – නෙල්සන් මැන්ඩෙලා
“හෙට මැරෙන බව සිතා ජීවත් වන්න. සදාකාලිකව ජීවත් වන බව සිතා ඉගෙන ගන්න” – මහත්මා ගාන්ධි
“වැඩි ම පොළියක් ලැබෙනු ඇත්තේ, අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයකිනි” – බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්
“තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා – උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” – වදන් කවි පොත

ඉහත සෑම උපුටනයකින් ම අවධාරණය කරනුයේ, අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගත්කම පිළිබඳව ය.

වර්තමානය වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, බොහෝ දියුණු රටවල් දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රම අනුගමනය කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ විවිධ විවේචන එල්ල වෙමින් තිබේ.

බොහෝවිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන සුලභ චෝදනාවක් වනුයේ, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගැයීම වෙනුවට ඔවුන්ගේ මතක ශක්තිය මැන බැලෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වසරේ මුල් වාරයේ සිට ක්‍රියාත්මක කරන බව ය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවා ද?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සෑම දරුවකුට ම අවුරුදු 17දී පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

මේ යටතේ, පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් ද, විභාග මගින් යම් ප්‍රතිශතයක් ද ලෙස ලකුණු ලබා දීමට යෝජනා කර ඇති අතර, ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරිත්වය අඩු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් සංඛ්‍යාව අඩු කිරීම
මෙම නව ප්‍රතිසංස්කරණ මගින් සිදු කිරීමට යන සුවිශේෂී ප්‍රතිසංස්කරණයක් වන්නේ, සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉගැන්වෙන විෂයයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීම ය.

සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණීයේදීත්, උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර ඇත.

එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයයන් සංඛ්‍යාව 7 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

එම විෂයයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන විෂයයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

2023 වසරේ දෙසැම්බර් 5 වන දා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අය-වැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ද මේ බව සඳහන් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here