තලවකැලෙන් අතුරුදහන් සිසුවියන් තිදෙනා සහ සිසුවා දින 20කට පසු ගාල්ලෙන් හමුවේ..

0
19

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක සිටියදි (04) දින පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ කුරුදු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවත්, එම සිසු සිසුවියන් අවු 14 සහ 16 වයස් කාණ්ඩ පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බදවාගෙන නොමැති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අතුරුදහන්ව සිටි එම සිසුවියන් තිදෙනා සහ සිසුවාගේ එක් ඥාතියෙකු එම කුරුදු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට ඇති බවත්, ඒ අනුව එම සිසුවියන් තිදෙනා සහ සිසුවා ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග බණ්ඩාරවෙල දක්වා ගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ඥාතියෙකු මාර්ගයෙන් එම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ කුරුදු කර්මාන්ත ශාලාවක රැකියාවට ගොස් ඇති බවට කරන මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

රැකියාව නොලැබුණු නිසා එම සිසුන් පිරිස එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැදි සිට ඇත.

එම සිසුවියන් තිදෙනා සහ සිසුවා සන්තකයේ තිබු දුරකථන අංකයක් ඔස්සේ විමර්ෂණයක් සිදු කර සිසුවියන් සහ සිසුවා සැගව සිටින ස්ථානය හදුනාගෙන තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් සිසුවියන් තිදෙනා සහ සිසුවා සොයාගත් බවත්, එම සිසුන් සිව්දෙනා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද තලවකැලේ පොලිසිය පැවසිය.

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවන්ද පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here