ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූගෙන් රහස් ප්‍රකාශයක්

0
22

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සංජුල ඇතුළු සැකකරුවන් හත්දෙනා සහ එම ඝාතනයට අනුබල දුන් සැකකාරියක සමඟින් අට දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (22) නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් හත් දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකාර දුලාන් සංජුල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා සිදුකර තිබෙන සියලු ප්‍රකාශ පොලිසිය මගින් බලපෑම් සිදුකර ලබාගත් ප්‍රකාශ බවත් ස්වේච්ඡාවෙන් ලබා දුන් ප්‍රකාශ නොවන බවත් පැවැසීය. ඒ නිසා තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දුන්නේය.

එහි දී මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේ දී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳ සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය. ඒ අනුව අධිකරණයේ දිවා විවේකයෙන් පසු පළමු සැකකරු වන ටැටූ මධ්‍යස්ථානයේ හිමිකාර දුලාන් සංජුල නමැත්තා විනාඩි හතළිහකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබාදුන්නේය.

අධිකරණය වෙත කරුණු දක්වමින් අතුරුගිරිය පොලිස් ස්ථානය වෙනුවෙන් එහි ස්ථානාධිපතිව ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතා සැකකරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශ සහ සැකකාරියගෙන් ලබාගත් ප්‍රකාශ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර තුවාල ලබා රෝගීව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පිනියක වන කේ. සුජීවා නමැත්තියගෙන් ලබාගත් ප්‍රකාශයක්ද මෙහි දී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එම අවස්ථාවේ දී කරුණු දක්වමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය වෙත පෙන්වා දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වුවත් ඔවුන් කිසි දින මෙම අධිකරණයට පැමිණ කරුණු දක්වා නොමැති බවත් අධිකරණයේ පෙනී සිටින්නේ අදාළ වැටූ මධ්‍යස්ථානය හිමි පොලිස් බල ප්‍රදේශයේ නිලධාරීන් බවත්ය. ඒ අනුව එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරි නඩු දිනයේ දී අදාළ බස්නාහිර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත පැමිණ කරුණු ඉදිරිපත් කළ යුතු බවට නියෝග කළාය.

එසේම අදාළ අපරාධය වූ දින සිට සාක්ෂි වශයෙන් වැදගත් වූ සියලු කාරණා ආරක්ෂිත කැමරා දර්ශන ආදිය සමාජ මාධ්‍ය ජාලාවන්හි සහ විදත් මාධ්‍ය ආයතනවල ප්‍රචාරය වීම සම්බන්ධයෙන් මෙන්ම ඝාතනයට ලක් වූ එක් පුද්ගලයකුගේ මෘත දේහය පවා වීඩියෝ දර්ශන ගතකර සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කිරීම පිළිබඳ නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණයේ අවධානය යොමු කළේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ වීඩියෝ දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරයට ලබා දුන් පුද්ගලයන් පිළිබඳ අදාළ මාධ්‍ය ආයතනවලින් ප්‍රකාශයක් ලබා ගැනීමටත් ඝාතනයට ලක් වූ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද නියෝග කළාය.

එසේම මෙම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු නීතිපතිවරයාගේ නිරීක්ෂණය මත සිදුකිරීමටද මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේ දී සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ටැටූ ආයතනය හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා අපරාධමය වරදක් පිළිබඳ පොලිසිය සහ මාධ්‍ය මගින් වරදකරුවකු බවට පත්කර තිබීම සම්බන්ධයෙන් තම සේවා දායකයා විසින් එලෙස නොකරන ලෙස ඉල්ලා සිටින බව ද නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here