පෙත්සම්කරුවන් තිදෙනකු ඉවත්වීම 3 වැනි පාර්ශ්වයක බලපෑමක් දැයි සැක

0
39

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ පෙත්සම්කරුවන් තිදෙනකු එම නඩුවෙන් ඉවත්වීම තෙවැනි පාර්ශ්වයක බලපෑම මත සිදුවූවක්ද යන්න පිළිබඳව සැක මතු වන බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (22) දන්වා සිටියේය.

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ දේවගැතිවරයාට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බවය.

වගඋත්තරකාර දේවගැතිවරයාට අයත් බව කියන ආයතන හයකින් හතරක් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර එක් ආයතනයක් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. මෙකී මුදල් විශුද්ධිකරණ චෝදනාවලට අදාළව පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. එසේම දේවගැතිවරයාගේ හඬ කටහඬ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව අපේක්ෂාවෙන් සිටින බවද නියෝජ්‍ය සොලිසිටර්වරයා සඳහන් කළේය. මෙම දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාවලට අදාළව වෝහාරික විගණනයක් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ වෝහාරික විගණනයක් සිදු කරන බව සඳහන් කළ ද වගඋත්තරකාර දේවගැතිවරයා පෞද්ගලිකව ලබාගත් විගණන නිලධාරියකු මඟින් අදාළ වෝහාරික විගණනය සිදු කරන බව දැනගැනීමට ඇති බවය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ වගඋත්තරකරු විසින් කවර ආකාරයේ විගණනයක් කළද නීතිපති දෙපාර්තමේන්තුව විසින් ස්වාධීනව විශේෂ නිලධාරියකු ලවා අදාළ විගණනය සිදු කරන බවය. එසේම දේවගැතිවරයාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළ විමර්ශන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අධිකරණයට මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. මෙහිදී වගඋත්තරකාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කියා සිටියේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටි සහනවලින් බහුතරයක් මේ වනවිට ලැබී ඇති බවය. පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස සහ ඔහු සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීම් දැනටමත් ඉටුවී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

එසේම එක් දේව මෙහෙයකදී දේවගැතිවරයා විසින් සිදු කරන ප්‍රකාශයකට අදාළව මෙම සියලුම නඩු පවරා ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අදාළ ප්‍රකාශය සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැතිවරයා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි බවද සඳහන් කළේය.

එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ දේවගැතිවරයා සමාව ලබා ගනිමින් කළ ප්‍රකාශය මඟින් තවදුරටත් සිදු කළේ තමන් මීට පෙර කරන ලද ප්‍රකාශ නිවැරදි බව ප්‍රකාශ කිරීමක් බවය. කෙසේ වුවද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීම සඳහා ඉදිරිපත් වූ පෙත්සම්කරුවන් තිදෙනෙකු මෙම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බවට උපදේශන නීතිඥවරයාට දැනුම් දී ඇති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව පෙත්සම්කරුවන් වූ ආචාර්ය ශිවාෂ් රාමචන්ද්‍රන්, කුරුක්කල් බාබු ෂර්මා, නිශාන් කුරේ පියතුමා, අල්හාජ් හසන් මොහොමඩ් යන අය මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දී ඇති බව ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය. එසේම එම දැනුම්දීමේ පිටපත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සහ නීතිපතිවරයාට යොමු කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් සේවාදායකයකු සිය නඩුව පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් සිය උපදේශන නීතිඥවරයාට පමණක් දැනුම් දෙන අතර මෙහිදී දේවගැතිවරයාට සහ නීතිපතිවරයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සුවිශේෂී කාරණයක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. එකී පෙත්සම්කරුවන් නඩු විභාගයෙන් ඉවත්වීම තෙවන පාර්ශ්වයක බලපෑමක් මත සිදු වූවක්ද යන සැකය මෙම ක්‍රියාව නිසා ඇතිවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වුවද දේවගැතිවරයාට එරෙහිව සිදු කරන විමර්ශන කටයුතුවලින් අනතුරුව මෙම පෙත්සම නැවත කැඳවීමට සියලු පාර්ශ්වයන් අධිකරණය හමුවේ එකඟතාව පළ කළහ. ඒ අනුව පෙත්සම 2025 වසරේ ජනවාරි මස 17 වැනිදා කැඳවීමට තීරණය කරන ලදි.

ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුල්වැල්ලේ ජිනරතන හිමි, ආචාර්ය ශිවාෂ් රාමචන්ද්‍රන්, කුරුක්කල් බාබු ෂර්මා, නිශාන් කුරේ පියතුමා, අල්හාජ් හසන් මොහොමඩ් මෙහි පෙත්සම්කරුවෝ වෙති.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මහජන ආරක්ෂක ඇමැතිවරයා, නීතිපතිවරයා ඇතුළු 16 දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටිති. ආගමික දේව මෙහෙයක දී බෞද්ධාගම ඇතුළු සෙසු ආගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

නීතිඥ අශෝකා නිවුන්හැල්ල මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here