Site icon Gossip Kade

වෛරසයෙන් මිය යන ඌරන්ගේ මස් වෙළෙඳසල්වල

මේ දිනවල ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සූකර ගොවිපළවල් තුළ පැතිර යන වයිරසය හේතුවෙන් මිය යන ඌරන්ගේ මස් ගාල්ල, මාතර හම්බන්තොට, රත්නපුර, කතරගම, මහනුවර වැනි ප්‍රදේශවල හෝටල් හා මස් වෙළෙඳසල්වලට කිලෝවක් රුපියල් 150ක් 200ක් වැනි මිලකට අලෙවි කරන බවට වාර්තා වේ.

එලෙස ජාඇල, දඬුගම, කඳාන, රාගම ආදී ප්‍රදේශවල සූකර ගොවිපළවල්වල පැතිර යන වයිරසය හේතුවෙන් මියයන ඌරන්ගේ මළ කුණු ශීතාගාරවල දමා පසුව කුට්ටි කර එලෙස පිට පළාත්වලට අලෙවි කරන බව එම කර්මාන්තයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ජාඇල ප්‍රදේශයේ ඇතැම් ශීතාගාරවල මියගිය ඌරන්ගේ මස් ගබඩා කර ඇත්තේ එලඹෙන උත්සව සමයේ අලෙවි කිරීමේ අදහසින් බව ප්‍රදේශවාසීහු පවසති.

එමෙන්ම මේ පිළිබඳ නොදැන මෙම මස් ආහාරයට ගත් වහටියගම ප්‍රදේශයේ ළමුන් කිහිපදෙනකුම රෝගී ලක්ෂණ පෙන්නුම් කර රෝහල් ගත කර ඇති බවද පැවැසේ.

සිය ගණනින් මිය යන ඌරන් දැමීමට ශීතාගාරවල ඉඩ මදි වු විට එම සතුන් ඌරුවල් ඔය, දඬුගම් ඔය හා තදාසන්න ඇළ මාර්ගවලට මෙන්ම මහා මාර්ග අද්දරට ගෙනැවිත් දැමීමට එම ගොවිපොළ හිමියන් ක්‍රියා කර ඇති බවද පැවැසේ.

එලෙස එම ප්‍රදේශවල ඇළ හා ජල මූලාශ්‍රවලට එම මළකුණු අනාරක්ෂිතව බැහැර කිරීම නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසකට මුහුණ දී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් වැලිසර පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරීවරයාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ “අප දෙපාර්තමේන්තුව මේ වන විට මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. මෙය ඌරන්ගේ ශ්වසන පද්ධතියට හා ප්‍රජනන පද්ධතියකට තමයි ආසාදනය වෙන්නේ. රෝගය වැළඳුණු ඌරන්ව බේරගන්න බෑ. මෙම රෝගය වයිරසයක් පැතිර යා හැකි හැම ආකාරයටම පැතිර යන්න පුළුවන්. අපි මේ වනවිට මෙය පාලනය කිරීම සඳහා රෝගය නොවැළඳුණු ගොවිපළවල සූකරයන් සඳහා එන්නත් ලබාදීම හා ඔෂධ ලබා දීම කරනවා. මියගිය සතුන්ගේ මස් ගබඩා කිරීම හා විකිණීම ගැන නීතිමය පියවර ගන්න පුළුවන් අපිට නෙවෙයි. ඒ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඉන්නවා.” යනුවෙනි.

Exit mobile version