Site icon Gossip Kade

නාමයෝජනා භාර ගැනීම සහ ඇප තැන්පත් කිරීම අදින් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11 වැනිදා) මධ්‍යහන 12.00 ට අවසන් වන බව මැතිවරණ කොමසෙම් සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

අද (11 වැනිදා) පස්වරු 12.00 සිට 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවත්, එම කාල සීමාවෙන් අනතුරුව භාරගත් නාමයෝජනා සහ ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා මොනවාද යන්න විස්තරය ඉදිරිපත් කරන බවත් හෙතෙම කීවේය.

ඒ අනුව අද (11 වැනිදා) පස්වරු 1.30 න් පසුව පෙළපාළිි යාම, එක්රැස්වීම සපුරා තහනම් බව කී සභාපතිවරයා අද (11 වැනිදා) මැතිවරණ දිස්ත්‍රික්ක 22 දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දැඩි ආරක්ෂාවක් යොදා ඇතැයිද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඊයේ (10 වැනිදා) මධ්‍යම රාත්‍රී අවසන් විය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට මෙම මස 30 වැනිදා සහ ලබන මස 04 වැනිදා යොදා තිබෙන බවත්, අනෙකුත් සියලුම රජයේ කාර්යාලවලට නොවැම්බර් 01 වැනිදා සහ 04 වැනිදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇති බවත් හෙතෙම කීවේය.

එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවූ අයට ලබන මස 07 සහ 08 දින ඒ සඳහා වෙන්කර ඇතැයිද ඔහු සිහිපත් කළේය.

මේ අතර ඊයේ (10 වැනිදා) වන විට ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා පත්‍ර 349 ක් සහ දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා පත්‍ර 241 ක් බාර දී තිබිණි.

Exit mobile version