Site icon Gossip Kade

දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් තීරණයක්


නවීකරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර කොටස හෙට (22 වැනිදා) ධාවනයට විවෘත කළත් ඒ අතර වන දුම්රිය ස්ථානවල සියලුම වගකීම්වලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර ඇත.

රුපියල් කෝටි 3000 ක වියදමක් දරමින් නවීකරණය කරන ලද මෙම මාර්ගය ජීවිත අනතුරට ලක්වන ආකාරයේ අඩුපාඩු සහිතව දුම්රිය දෙපාර්තමේන්තුව බාරගෙන තිබීම ඊට හේතුව බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ‘අරුණ’ ට ඊයේ පැවැසීය.

මෙම මාර්ගයේ නවීකරණය අතුරතුර සංඥා පද්ධතිය ද ගලවා ඉවත් කර ඇති බවත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හතරක ගේට්ටු සවිකර ද නැති බවත් හෙතෙම කීවේය.

තලාව, තඹුත්තේගම, ගල්ගමුව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන ආසන්නයේ ඇති හරස් මාර්ග අතින් ක්‍රියාකරවිය හැකි ගේට්ටු ලෙස සකස් කරන බවට බලධාරීන් පොරොන්දු වුවත් මෙතෙක් ආරක්ෂිත ගේට්ටු හෝ යොදා නොමැති බවද හෙතෙම කීවේය.

නිසි ප්‍රමිතියකින් තොරව සිදුකරන ලද නවීකරණ කටයුතු හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඊට පිළියම් ලෙස මහව සිට අනුරාධපුර කොටසේ පැයට කිලෝමීටර් 40 ක වේගයකින් ධාවනය කරන ලෙසට දුම්රිය රියැදුරන්ට උපදෙස් දී ඇති බවත් සුමේධ සෝමරත්න කීවේය.

මෙම අඩුපාඩු විසඳා දෙන තෙක් මහව සිට අනුරාධපුර දක්වා කොටසේ දුම්රිය ස්ථානවල වගකීම් බාර නොගන්නා බවත් ඒ අනුව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම්, පාර්සල් හා භාණ්ඩ බාර ගැනීම් හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් රැස්කරදීම් සිදුනොකරන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර සෙසු දුම්රිය කාර්ය මණ්ඩලය ද මෙම මාර්ගයේ රාජකාරීවලින් ඉවත් කරගන්නා බව දුම්රිය ස්වශක්ති සංගමයේ ලේකම් එම්.ජේ රොබට්ස් පැවැසීය.

තම සංගමයත්, දුම්රිය ස්ථානාධිපති සංගමයත් මගහැර මෙම මාර්ග කොටසේ පෙරහුරු ගමන්වාරයක් ගොස් ඇති බවත් තම සංගම් දැඩිව විරෝධය පළකිරීම ඊට හේතු වී ඇති බවත් සඳහන් කරන එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ අනාරක්ෂිත අන්දමින් මෙම මාර්ගය ධාවනයට විවෘත කිරීමෙන් සිදුවන අනතුරුවල වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව බාරගත යුතු බවය.

Exit mobile version