Site icon Gossip Kade

තායිවානය හරහා හමා ගිය ‘ගයිමි’ සුළි කුණාටුව චීනයට

තායිවානය හරහා හමාගිය ‘ගයිමි’ සුළි කුණාටුව චීනයේ ෆුජිආන් පළාතට ඇතුළු වීමට නියමිත බව කාලගුණ බලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සුළි කුණාටුව මේ වන විට චීනයේ ගිනිකොන දිග වෙරළ තීරයට ආසන්නව ඇති බවට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

පුද්ගලයන් එක් ලක්ෂ 50,000කට වැඩි පිරිසක් දැනටමත් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර තායිවානයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පැයට කිලෝමීටර 227ක වේගයෙන් හමා ගිය එම සුළි කුණාටුව තායිවානයට බලපෑ විශාලතම සුළි කුණාටුව වන බවටද සඳහන්.

එම සුළි කුණාටුව හේතුවෙන් තායිවානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලීි ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එහි සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 09 දෙනෙකු අතුරුදන් වී ඇති බවද සඳහන්.

තායිවාන රජය පැවසුවේ අතුරුදන් වූ පිරිස සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා පිටත් කර ඇති බවයි.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක්ද අයහපත් කාලගුණය හේතුවෙන් පිලිපීනයට ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේදී එම නෞකාවෙන් කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් ලක්ෂ 15ක් ප්‍රවාහනය කරමින් සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

Exit mobile version