Site icon Gossip Kade

උප්පැන්නය දෙන්න බැරි වූ නිසා දවස් 17ක් නව හැවිරිදි පුතුගේ දේහය එළු මඩුවේ තැන්පත් කරයි

සාමසර එළඟිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටියදී හෘදයාබාධයකින් මියගියේ යැයි කියන නව හැවිරිදි දරුවකුගේ මෘතදේහයකට අවසන් ගෞරව දැක්වීම සඳහා දිරාපත් වූ ටකරන් හා සාරි ආවරණය කළ එළු ගෙයක තැන්පත් කර තිබූ බව එළඟිපිටිය ජනපදවාසීහු පැවසූහ. මේ දරුවාගේ අවසන් කටයුතු ඊයේ (21) සවස සිදු කෙරිණි.

සාමසර, එළඟිපිටිය ජනපදය ලිපිනයේ පදිංචි පියාගේ රැකවරණය අහිමි, මාබෝපිටියලාගේ කාවින්ද දිනේෂ් නමැති මේ නව හැවිරිදි දරුවාගේ මෘතදේහය මෙලෙස එළු මඩුවක සාරිවලින් ආවරණය කරමින් ඉදි කළ තාවකාලික මඩුවක තැන්පත් කර තිබිණි. ඉකුත් හතර වැනිදා මිය ගියේයැයි කියන දරුවාගේ මළ සිරුර රෝහලෙන් නිදහස් කරගන්න බැරිව ඇත්තේ මියගිය නව හැවිරිදි පුතුට උප්පැන්නය දී නොතිබුණු නිසා දින 17 විතර පරක්කු වූ බවද මව පැවසීය.

අප එම නිවෙසට යන විටත් මියගිය පුතුට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටි නමුත් මියගිය දරුවාගේ මව එම අවස්ථාවේ දිප්පිටිය නගරයට ගොස් සිටියේ එදින ඉරිදාවක් වූ බැවින් දේහය මිහිදන් කිරීමට වේලාවක් බලවාගැනීමට ජ්‍යොතිර්වේදියකු හමු වීම සඳහාය.

පියාගේ රැකවරණය අහිමි දියණියන් දෙදෙනාට හා මියගිය එකම පුතුටද උප්පැන්නය ලබා දීමට නොහැකි වූ බව පැවසූ මව වන මාබෝපිටියලාගේ ජීවිකා ජයමිනි (32) මහත්මිය, පුතු වසර ගණනාවක සිට හෘදයාබාධයකින් පීඩා විඳි බවත්, එකපාරටම පුතුගේ රෝගි තත්ත්වය පසුගිය හතර වැනිදා උත්සන්න වීම නිසා එළඟිපිටිය ජනපදයේ සිට මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර කෙටි වේලාවකින් රෝගී තත්ත්වය දැඩි ලෙස උත්සන්න වීම නිසා පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇතත් එදින (4) රාත්‍රි එකොළහට පමණ දරුවා මරණයට පත් වූ බවත් පැවසුවාය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය:

“පුතාට වයස අවුරුදු පහේදි විතර තමයි හදවත් රෝගය වැලඳුණේ. ක්ලිනික් එක්ක ගියා. ඔහොම ඉන්න කොට ඉස්කෝලෙටත් පුතා ගියා. උප්පැන්නය හදල ගෙනත් දෙන කල් ඉස්කෝලෙට එවන්න කියල මට ඉස්කෝලෙන් දැනුම් දුන්න. පුතාගේ මිනිය ගෙට ගත්තේ නැත්තේ පුතා නැති වෙලා මිනිය රෝහලේ තියෙද්දි දවස් හතක් පිරෙන දවසේ හාමුදුරුවෝ වඩමවාලා බණක් කියලා දානේ දුන්න නිසා නැවත ගේ ඇතුළට මිනිය ගන්න හොඳ නැහැ කියල මතයක් තිබුණු නිසායි. ඒ හින්දා තාවකාලික මඩුවක මිනිය තියන්න තීරණය කළා. මට තව අවුරුදු දහතුනක දියණියක් ඉන්නවා. එයාටත් පිළිකාවක් තියෙනවා. දැන් ඔපරේෂන් කරලා එක්කගෙන ඇවිත් ගෙදර ඉන්නවා.

“අපට රජයෙන් කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ළමයින්ගේ තාත්තට අස්වැසුම හම්බ වුණත් එයා අපිව අත්හැරල ගිහින්. අපි දැන් පදිංචි වෙලා ඉන්නේ එළඟිපිටිය ජනපදයේ අම්මලාගේ මුල් ගෙදර. ඒකත් දිරාපත් වෙලා. ලොකු දුව විවාහ වෙලා ඉන්නේ. පිළිකාවක් තියෙන දුවටයි විවාහ වෙලා ඉන්න දුවටයි දෙන්නටම උප්පැන්නේ දෙන්න කියල මට රෝහලෙන් කිව්වා. ඒ සඳහා මට උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට පිහිට වෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.”

ප්‍රදේශවාසීන් අප හා පැවසුවේ මෙවන් අදහසකි:

“එළඟිපිටිය ජනපදයේ සුබසාධක සමිතියකවත් නැහැ. ගමත් එක්ක ඒ තරම් සම්බන්ධයක් නැහැ. ඒත් අපි කිව්වා මේ දරුවාගේ මෘතදේහය සමිති ශාලාවේ තැන්පත් කරමු කියලා. ඒත් ඒකට ගෙදර අය කැමති වුණේ නැහැ. මියගිය ඒ නොදරුවාගේ මළ සිරුර තැම්පත් කරල තියෙන තැන එළුවෙක් හිටියා, ඒ එළුවා තමයි ඔයා දරුවා තියල ඉන්න මඩුවට එහා පැත්තෙන් ගැටගහල ඉන්නේ. අපි ඒ දරුවගේ අම්මට කිව්වා මියගිය දරුව ඒ මඩුවේ තියෙන්න හොඳ නැහැ ප්‍රජාශාලාවේ තියමු කියල. ඒත් ඒ අම්මා ඒකට ඇකැමැත්ත ප්‍රකාශ කළේ ගමේ එක ප්‍රජා ශාලාවකටවත් බැඳිලා නැති නිසා.”

එළඟිපිටිය ජනපදවාසීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඊයේ (21) සවස සාමසර කන්ද පාමුල නිසල වන අරණේදී දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පැවසීය

Exit mobile version