Site icon Gossip Kade

ආදායම් ඉපැයීම වැඩිකිරීම සඳහා වු උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ ජනපතිගේ අවධානය

ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා වූ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේ දී මුහුණපෑමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී එම දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර තිබේ. 

එම ගැටලුවලට ඵලදායී ලෙස මුහුණදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කරගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බදු නීති මනා සම්බන්ධිකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම වැළැක්වීමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදි වැඩි අවධානක් යොමුව තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට සිටින විදෙස් තානාපතිවරුන් අතර සාකච්ඡා කිහිපයක් ඊයේ (09) සිදුව තිබුණි.

එහිදි ජනාධිපතිවරයා, ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරිවෝල්ට් මහත්මිය හමුවී සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය පිළිබඳ සුබපැතුම් එක් කළ තානාපතිනිය සඳහන් කර ඇත්තේ, මෙරට ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයන්නයන් සඳහා සහාය පළ කරන බවය.

අනතුරුව මෙරට ජර්මානු තානාපති ෆිලික්ස් නියුමන් මහතා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති අතර එහිදි තානාපතිවරයා සඳහන් කර ඇත්තේ මෙරට සංවර්ධන සහ වෙළෙඳ කටයුතු සඳහා ජර්මනියේ සහාය ලබාදීමට කටයුතු කරන බවය.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබේ.

එහිදි දෙරට අතර වෙළෙඳ ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් තායිලන්ත රජයේ සුබපැතුම් එක් කළ තානාපතිවරයා, තායිලන්තයේ මහ වජිර ලොන් කොන් රජු විසින් එවනු ලැබූ විශේෂ සුබපැතුම් පණිවුඩය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම මෙහිදි සිදුකර තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට වියට්නාම තානාපති ට්‍රින් තී ටැම් මහත්මිය අතර හමුවක් ද සිදුව තිබේ.

එහිදි වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

Exit mobile version